elec

අද වන විට ලෝකයේ බොහෝ රටවල විදුලිබල ක්ෂේත්‍රය වේගවත් ලෙස වෙනස්කම් වලට භාජනය වෙමින් පවතී. ඒ ඒ රටවල ක්‍රමවේද වල වෙනස්කම් දක්නට ලැබුනද, ඒවායේ දිශානති එල්ලයේ පොදු බවක් දක්නට ඇත. මෙම ක්ෂේත්‍රය සමීපව නිරීක්ෂනය කිරීමේදී හෙලිවන පොදු කරුණක් නම්, ලෝකයේ බොහෝ රටවල පැවති ආයතනික ව්‍යුහය බොහෝ දුරට සමාන හා ඒ ආයතන වලට අදාල ප්‍රශ්න සහ ගුණ අගුණද ඒ ආකාරයටම සමානකම් පෙන්වන බවයි. මේවායේපොදු ලක්ෂණ නම් නිෂ්පාදිතයේ මිල අධික බව, ආයතනික වියදම් අධික බව, සපයන භාන්ඩ හෝසේවාවල ප්‍රමිතිය පිලිබඳ ප්‍රශ්න, සපයන භාන්ඩ හෝසේවාවල හිඟය, නාස්තිය සහ දූෂණය පැවතීම,  ප්‍රමාණය ඉක්මවන සේවක සංබ්‍යාවක් නඩත්තු කිරීම සහ  ප්‍රාග්ධන යෙදවුම්වල ඵලදායීබව අඩුවීම ආදියයි.

ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුනු

මෙම ගැටලුවල ප්‍රතිඵල අවසානයේ භුක්ති විදීමට සිදුවන්නේ මුලු රටටම බැවින් බොහෝ රාජ්‍යයන් කල්වෙලා ඇතිව මේවා සඳහා විසඳුම් සොයාගෙන ඇති නමුත් මෙරට තත්වය එසේ නොවන බව පැහැදිලිය. ඉහත සඳහන්කල දුර්වලතා නිසා මේවනවිට මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන මූල්‍ය අර්බුදය විසින් ක්ෂේත්‍රය සඳහා ප්‍රතිව්‍යුහකරනය අනිවාර්ය කර ඇත. මෙතෙක් මෙම ක්ෂේත්‍රයේ ප්‍රාග්ධන අවශ්‍යතා රාජ්‍යය මැදිහත්වී සපුරාගෙන ඇති නමුත් මින් ඉදිරියට එය එසේ කල නොහැකි තත්වයක් රටේ පවතින ආර්ථික තත්වය විසින්ද නිර්මානය කර ඇත. එබැවින් ඉදිරියේද අවශ්‍යවන නව විදුලි උත්පාදන ධාරිතාව ස්ථාපනය කිරීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයාදීමේ වගකීම භාරගැනීමට රජයට තවදුරටත් නොහැකිවනු ඇත.

මේ තත්වය මගහැරවිමේ උපක්‍රමයක් ලෙස ප්‍රතිව්‍යුහකරනය පැවතියද එවැනි වෙනසක් සඳහා අවශ්‍ය දේශපාලන උවමනාවක් මෙරට තුල පැවති සමහර ආන්ඩුවලට තිබුන්නේද යන්න ගැටලුවකි. මෙම තත්වය ඇතිවීමට හේතු බොහොමයක් ඇතත් ඒවායින් ප්‍රධාන තම සාධකය වන්නේ ජනතාව වෙත දිගු කාලයක් තිස්සේ වාමවාදී දේශපාලඥයන් විසින් ඒතතු ගන්වා ඇති සහ ඒ නිසාම ජනමනස තුල පැලපදියම් වී ඇති දේශීය සම්පත් රැකගැනීමට ඇති අවශ්‍යතාවය  යටතේ මෙම ආයතන වල ව්‍යුහාත්මක වෙනසක් ඇතිකිරීමට ජනතාව දක්වන අකැමැත්තයි. මෙම තත්වයෙන් ප්‍රයෝජන ගන්නා දේශපාලකයන්, නිලධාරින්, සේවකයන් සහ ව්‍යාපාරිකයන් රජය යටතේ පවතින මෙම ආයතන වල ගනුදෙනු හරහා රජයේ මුදල් අවභාවිත කිරීමටත් විශේෂයෙන් දේශපාලකයන් තම හිතවතුන්ට සහ මුදලට මෙම ආයතනවල රැකියා ලබාදීම සඳහාත් යොදාගෙන ඇත.

විදුලිබල ක්ෂේත්‍රයේ ස්වභාවය

මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ යටිතල පහසුකම් සම්පාදනයේදී හා පරිහරනය කිරීමේදී ඒවා රටේ සම්පත් සහ ජනජීවිතය හා තදින් බැඳී පවතී. ඒ මක්නිසාද යත් ඒ සඳහා දේශීය බලශක්ති ප්‍රභව, ගංගාද්‍රොණි, ඛනිජ සම්පත් සහ ඉඩම් ආදිය භාවිත කිරීමට සිදුවන නිසාවෙනි. එබැවින් මේ සඳහා රාජ්‍ය මැදිහත්වීම අනිවාර්ය දෙයක් බව පිලිගැනීමට සිදුවන අතර එය ඒ ආකාරයෙන්ම මේ දක්වා සිදුවී ඇති බවද පැහැදිලිය.

විදුලිබල ක්ෂේත්‍රය ස්වභාවික ඒකාධිකාරයක්ද?

එක් වීදියකට එක් විදුලි රැහැනක් තිබීම රැහැන් කීපයක් තිබීමට වඩා ආර්ථික වශයෙන් වාසිදායක බව පිළිගත් සත්‍යයකි. එක් ආයතනයකට යම් භාන්ඩ හෝසේවා ප්‍රමාණයක් ආයතන කීපයක් හරහා එම භාන්ඩ හෝසේවා ප්‍රමාණයම සැපයීමට වැයකරන මුදලට වඩා අඩු මුදලකට සැපයිය හැකිනම් එතැන ස්වභාවික ඒකාධිකාරයක් පවතින බව ආර්ථික විද්‍යාව අනුව නිගමනය කෙරේ. විදුලිබල ක්ෂේත්‍රය විිදුලි උත්පාදනය, සම්ප්‍රෙෂණය සහ බෙදාහැරීම වැනි ක්ෂේත්‍ර ගණනාවක සංයුතියක් බැවින් යම් යම් කොටස් ස්වභාවික ඒකාධිකාර ඝනයට අයත් වුවද සමස්ථයක් ලෙස එය එම ඝනයට අයත් නොවේ.

තරඟකාරී වෙළඳපොල ක්‍රමය

මෙහි න්‍යායික හරය නම් තරඟකාරී වෙළඳපොලක් පැවතීම (ඉල්ලුම හා සැපයුම ක්‍රියාත්මක වීමට ඉඩදීම) හරහා භාන්ඩ හා සේවාවල නිෂ්පාදන කාර්යක්ෂමතාවය (Productive Efficiency) වැඩිකිරීම සහ ඒවා පරිභොජනය සඳහා අනුයුක්ත කිරීමේ කාර්යක්ෂමතාවය (Allocative Efficiency) වැඩිකිරීම ඇතිකලහැකි බවයි. මෙම ක්‍රියාවලිය යම් කාල පරාසයක් තුල ක්‍රියාත්මක වීමට ඉඩදීම හරහා නිෂ්පාදිතයේ මිල අඩුකර ගැනීමටත් ප්‍රමිතිය ඉහල නංවාගැනීමටත් හැකිවන බව ආර්ථික විද්‍යාවෙන් කියවෙන අතර එය ලෝක අත්දැකීම් තුලින්ද තහවුරු වී ඇත.

සාමාන්‍ය තත්ව යටතේ ස්වභාවික ඒකාධිකාරයක් හෝ ඒකාධිකාරයක් පවතින අවස්ථාවක ඒ සඳහා නියාමනයක්ද අවශ්‍යවන බැවින් නියාමන වියදම්ද සැලකිල්ලට ගත යුතුය. එහෙත් ආයතන කීපයක් හා තරඟය පැවතීමේ මුලු නිෂ්පාදන වියදම වැඩි වුවත් නියාමන වියදම් අඩු විම ස්වභාවිකය.

ප්‍රතිව්‍යුහගත කිරීමේ පදනම

ප්‍රතිව්‍යුහගත කිරීමේදී මූලික වශයෙන් සිදුවන්නේ අදාල ක්ෂේත්‍රයේහෝආයතනයේකාර්යක්ෂමතාවය වැඩිකිරීමයි. එසේ කිරීමේදී  එම ආයතනයේක්‍රියාකාරීත්වය තාක්ෂණිකව බෙදීමකට ලක්කොට එක් එක් කොටස් වඩාත් කාර්යක්ෂම සිදුකිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් වලට භාජනය කිරීමයි.’

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම

මේ යටතේ දැනට ඒකාධිකරය මඟින් ඉටුකරන සේවාවල ස්වභාවික ඒකාධිකාරී කොටස් හඳුනාගැනීම සිදුකෙරේ. විදුලිබල මණ්ඩලය සලකා බලන කල ස්වභාවික ඒකාධිකාර වශයෙන් සැලකිය හැක්කේසම්ප්‍රේෂණ පද්ධතිය සහ බෙදාහැරීම් පද්ධතිය (ඒ හා සම්බන්ධ විදුලි රැහැන් සහ උප පොළ) පමනි. ඒ හැර නව උත්පාදන පහසුකම් ඉදිකිරීම, විදුලි උත්පාදනය, තොග මිලදී ගැනීම හා විකිනීම, සිල්ලර විකිණීම හා පාරීභොගික සේවා, මනුගත කිරීම හා අයකරගැනීම් ආදී ක්‍රියාකාරකම් තරඟකාරීත්වය යටතේ පවත්වාගෙන යා හැකිය.

යෝජිත ක්‍රමවේදට අනුව ස්වභාවික ඒකාධිකාර වශයෙන් ගැනෙන  සම්ප්‍රේෂණ පද්ධතිය එක් සමාගමක් යටතටත් බෙදාහැරීම් පද්ධතිය කොළඹ කේන්ද්‍රීය සමාගම් හතරක් යටතටත් පත්කෙරෙනු ඇත. සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් දේපල මෙම සමාගම් යටතට පත්කරනු ඇත. උත්පාදිත බල ශක්තිය සම්ප්‍රේෂණ පද්ධතිය හා බෙදාහැරීම් පද්ධතිය මඟින් පාරිභොගිකයා අතට පත්කිරීම (wheeling)මෙම සමාගම් වල වගකීම වනු ඇත. ඒ සඳහා මෙම සමාගම් වලට ප්‍රවාහනයකල බල ශක්තිය සඳහා තොග සහ සිල්ලර වෙළඳ සමාගම් නියමිත මිල ගෙවිය යුතුය. (මෙම wheeling සංකල්පය යෝජිත පලමු අදියරේ අන්තර්ගත නැත).

විදුලි වෙළඳපොල ක්‍රමය

විදුලිය ගබඩාකර තබාගැනීම දැනට මිල අධික මෙන්ම අකාර්යක්ෂම ක්‍රියාවක් බැවින් අවශ්‍ය අවස්ථාවේදී මිලට ගැනීම සමාන්‍ය ක්‍රමයයි. මේහේතුව නිසා විදුලි ඉල්ලුම උච්චාවචයනය වීම ස්වභාවිකය. දවල් කාලය තුල කර්මාන්ත හා කාර්යාල ඉල්ලුම ඉහල යන අතර රාත්‍රී කාලයේ ගෘහීය සහ අනිකුත් ආලෝක කටයුතු සඳහ වන ඉල්ලුම ඉහල යෑම සාමාන්‍ය තත්වයයි. විදුලි වෙළඳපොල ක්‍රමය මඟින් සිදුකෙරෙන මූලික ක්‍රියාවක් වන්නේ දවසේ පැය විසි හතර පුරාම විදුලිය මිලට ගැනීම සඳහා ලංසු කැඳවා උත්පාදකයින් විදුලිය සැපයීම සඳහා ඔවුන්ගේ මිලගණන් අනුව පෙලගැස්වීමයි.

මේ අනුව පාදම් බැර (Base Load) සපයන උත්පාදකයින් (ගල් අඟුරු හෝ න්‍යෂ්ටික වැනි දිගු කාලයක් එක දිගට විදුලිය සැපයිය හැකි සහ පහසුවෙන් පටන් ගැනීමට, නැවැත්වීමට හෝ අඩු වැඩි කිරීමට නොහැකි) දවසේ පැය විසි හතර පුරාම විදුලිය සැපයීම සඳහා ලංසු ඉදිරිපත් කරති. කුඩා ජලවිදුලි, සුලං සහ සූර්ය බල ශක්තිය වැනි විචල්‍ය ප්‍රභවයන්ද විදුලිය ගබඩාකර තබාගැනීමේ පහසුකම් නොමැති නම්බොහෝවිට මෙම මිලගණන් වලටම සැපයීමට එකඟවෙති (වෙනත් විකල්ප මෙම ප්‍රභවයන්ට නැත). එහෙත් දවසේ යම් වේලාවල ඉල්ලුම මෙම සැපයුම්වල ධාරිතාවේ සීමාව ඉක්මවූ විට ක්ෂනිකව සැපයුම දියහැකි විශාල ජලාශ සහිත ජල විදුලි හෝ තාප විදුලි උත්පාදකයන් වෙතින් මිලට ගැනීමට සිදුවේ. එක්එක් උත්පාදකයින්ගේ මිලගණන් අනුව අඩු මිලගණන්වල සිට වැඩි මිලගණන් දක්වා ආරෝහන පිලිවෙලට මිලට ගැනීම දවසේ අදාල වේලාවේ ඉල්ලුම උච්චාවචනය අනුව සිදුවේ.

විදුලි වෙළඳපොල සමාගමක් මඟින් ක්‍රියාත්මක අතර එහි ක්‍රියාකාරීන් වන්නේ තොග වෙළඳුන්ය. ඔවුන් බොහෝවිට කොටසක් උත්පාදකයින්ගෙන් කෙළින්ම ලබාගැනීමද කොටසක් වෙළඳපොලෙන්ද ලබාගෙන සිල්ලර වෙළඳුන්ට අළවිකිරීම සිදුකරති. ඉන් පසු සිල්ලර වෙළඳුන් මඟින් පාරිභොගිකයා අතට පත්කිරීමත් සිදුකෙරේ. මේ හැර පාරිභොගිකයාට උත්පාදකයින්ගෙන් කෙළින්ම ලබාගැනීම සඳහාද වෙළඳපොල මඟින් පහසුකම් සැපයේ.

ප්‍රතිව්‍යුහගතකරණයේ වර්තමාන තත්වය

මෙම ක්‍රියාවලිය තරමක් සංකීර්න බැවින්ද එය කල්ගතවෙන සහ වියදම් සහිත වැඩසටහනක් බැවින්ද අදියර කීපයක් හරහා මෙම වෙනස්කම් සිදුකිරීමට සැලසුම් කර ඇත. දැනට යෝජනා වී ඇති ප්‍රතිසංස්කරණ යටතේ1999-2005 වකවානුවේ සිදුකරන ලද වෙනස්කම් එතැන් පටන් ඉදිරියට ගෙනයෑමට යෝජිතය. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, මානව සම්පත් සහ නියාමන අධිකාරීන් දැනටමත් මෙම ක්ෂේත්‍රය තුල පිහිටුවා ක්‍රියාත්මකව පවතින බැවින්ද, ඒ සඳහා අත්‍යවශ්‍ය දේශපාලන උවමනාව වර්තමානයේ පවතින බැවින්ද මෙවර මෙම උත්සාහය සාර්ථක කර ගැනීමට ඇති ශක්‍යතාවය වැඩි බව විශ්වාස කල හැකිය.

ප්‍රතිව්‍යුහගතකරණයේ මුල් අදියර වශයෙන් සැලකියහැකි මෙම වැඩපිලිවෙල යටතේ විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණ, බෙදිහැරීම සහ තොග වෙළඳාම වෙන්කිරීමටත් ඒවා වෙන් වෙන් වශයෙන් හැසිරවීම සඳහා දැනට පවතින විදුලිබල මණ්ඩලයේ අදාල කොටස් සමාගම් ලෙස ලියාපදිංචි කිරීමටත් යෝජිතය. මේ හරහා එක් එක් සමාගම් තමන්ගේ ගිනුම් වෙන් වෙන් වශයෙන් පවත්වාගෙන යා යුතු අතර ඒම සමාගම්වල ලාභ අලාභ සඳහා අදාල නිලධාරීන් වගකිව යුතුය.

මෙලෙස ප්‍රතිව්‍යුහගතකරණයේ මුල් අවදියේදි අයතනික ව්‍යුහයේ වෙනස්කම් සිදු කිරීම් තුලින් විදුලි නිශ්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වැඩිකිරීමට අපෙක්ෂිත අතර විදුලි පරිහරනයේ කාර්යක්ෂමතාවය වැඩිකිරීම සඳහාද පියවර ගැනෙනු ඇත. ඒ යටතේ දැනට භාවිත වන ක්‍රමය වන නිශ්පාදන වියදමට අඩුවෙන් නිශ්පාදිතය විකිණීම නවතා දැමීමට කටයුතු යොදනු ඇත.  ඒ සඳහා දැනටමත් මිල සංශෝධන සිදුකර ඇති අතර ඉදිරියේදී තව දුරටත් නිශ්පාදන වියදම මත පදනමි වූ මිලක් (cost based tariff) දක්වා සංශෝධන වියහැකි අතර  නිශ්පාදන වියදම අඩුකිරීම හරහා විකුනුම් මිල හා ගැලපුම් කර මූල්‍ය පාඩුව නැතිකර ගැනීමට අනුබල දෙනු ඇත. නිශ්පාදන වියදම අඩුකිරීම යටතේ ශ්‍රම ඵලදායී බව ඉහල නැංවීමටත් අතිරික්ත ශ්‍රමිකයන් ඉවත් කිරීමටත් සිදුවනු ඇත.

දැනට විදුලි මිලෙහි අන්තර්ගත සහනාධාර කොටස ඉදිරීයේදී ඉවත්කොට සහනාධාර අවශ්‍ය පාරිභොගකයන්ට පමණක් කෙලින්ම මූල්‍යාධාරයක් ලෙස ගෙවීමට කටයුතු යොදනු ඇත.

දැනට යෝජිත මූලික ප්‍රතිසංස්කරන යටතේ අතිරික්ත ශ්‍රමිකයන් ඉවත් කිරීමට සිදුවුවද ප්‍රතිව්‍යුහගතකරන වැඩපිලිවෙල ඉදිරියට ගෙනයාමේදී වෙනත් ක්ෂේත්‍ර වල ශ්‍රමිකයන්ගේසේවය සහ තාක්ෂණීක යටිතල පහසුකම් වල ප්‍රසාරනය විශාල වශයෙන් අවශ්‍ය වන බවත් ඒ තුලින් පුලුල් පරාසයක රැකියා අවස්ථා රැසක් බිහිවීමටද නියමිතය.

කීර්ති ගොඩිගමුව

Similar Posts