රාජාංගනය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගල් තලාවක් මහජනතාවට පීඩා සිදුවන අන්දමින් විනාශ කරන බවට ගල්තලාව ආසන්නයේ පදිංචිකරුවන් පිරිසක් චෝදනා කරති.
රාජාංගනය ප්‍රාදේශීය සභා සභාපති ජී.එච් සරත් ගාමිණී මහතා විසින් රාජාංගනය ගිණි පෙට්ටි පාලම අසල පිහිටි පෞරාණික ගල් තලාවක් රසායනික ද්‍රව්‍ය යොදා බැකෝ යන්ත්‍ර භාවිතා කරමින් කඩා දමනා බවට ප්‍රදේශවාසීන් චෝදනා කරන අතර ස්ථානයේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඉදිකිරිමේ අදහසින් කටයුත්ත සිදුකරනා බව ගම්වාසීන් පවසති.
ගල්තලාව සහිත ඉඩමට සභාපතිවරයාට ඔප්පු පැවතියත් එම ගල්තලාව මත ඉපැරණි පුරාවිද්‍යාත්මක සාධක සහිත ගල් කණු කීපයක් තිබු බවත් ඉපැරණි සාධක ඉවත්කර ස්ථානයේ කිසිදු පෞරාණික වටිනාකමක් නොමැති බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලියකියවිලි සකස් කර ගෙන ඇතැයි ගම්වාසීන් පවසති.ගල් කැඩීමේදී අවට පිහිටි තම නිවාස වලට ගල් කුඩු විසිරි යාම නිසා සෞඛ්‍යමය ගැටළු මතුව ඇති බව ගම්වාසීන් පවසති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අසල නිවසක කාන්තාවක් මගේ දරුවෝ තුන් දෙනත් එක්ක සතියක ඉඳන් කෑවේ ගල් කුඩු එක්ක බත්.මේ මිනිස්සු අපි ගැන හිතන්නේ බලන්නේ නැතිව ගල් කුඩු කරනවා.ළමයින්ට ඉන්න බෑ ගල් කඩන කොට සද්දේ.හවස හය හත වෙනකල් ගල් කඩනවා උයන පිහන ඒවායේ පවා ගල් කුඩු.
කියන්න පුළුවන් හැම තැනකටම කිව්වා දේශපාලනයට මේ සියල්ල යටයි.ගල් තලාවේ පරණ ගල් කණු තුනක් තිබුණා, ඒවාට වෙච්ච දෙයක් නෑ.මේ කඩන්නේ පෞරාණික වටිනාකමක් තියෙන ගලක් මගේ ළමයින්ට දැන් කැස්සක් හැදිලා ගල් කුඩු නිසා.ගල කඩලා පිටට විකුණනවා යැයි ඇය පැවසුවාය.
මේ සම්බන්ධයෙන් රාජාංගනය ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් ගාමිණි මහතාගෙන් කළ විමසීමේදි කියා සිටියේ මම 1987 මේ ඉඩමට පදිංචියට ආවේ.දැන් ඉඩමට ජය භූමි ඔප්පු තියෙනවා.ඉඩමේ ගල් දෙකක් තියෙනවා.ගල් ඉවත් කර ගැනීමේ අවශ්‍යතාව ආවා නිසා ගල් ඉවත් කරගන්න ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් ඉල්ලීමක් කළා.
ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ භූමිය පරික්ෂා කරලා ස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් නෑ කියලා භූවිද්‍යා හා පතල් කැනීම් අංශයෙන් අවසර ලබා ගෙන පසුගිය 12 වැනි දිනට 19 වැනි දින දක්වා ගල් ඉවත් කිරීමට අවසර ලබාගත්තා.
අවට අයට හානියක් නොවෙන්න කටයුතු කරගෙන ගියා.කාට හරි යම් අපහසුතාවකට සිදුවුණා නම් කණගාටුව පළ කරනවා.ඔය කියන ගල් කණු ගැන දන්නේ නෑ.මම කාටවත් හිරිහැර කරන්නවත් නිධන් ගන්නවත් කරපු වැඩක් නෙමෙයි, මගේ තනතුරේ ගෞරවය ආරක්ෂා කර ගනීමන් බලපත්‍ර ලබාගෙන වැඩේ කරේ යැයි ඔහු පැවසුවේය.
අනුරාධපුර – මහේෂ් විජේසුරිය