කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා දැනට ලෝකයේ නිෂ්පාදය කර තිබෙන එන්නත් කිහිපය අතරින් අපේ මෙරටට වඩාත් ගැලපෙන එන්නත කඩිනමින්  ගෙන ඒම සඳහා පියවර ගන්නා බව කොවිඩ් මර්දන ජනාධිපති  කාර්ය සාධක බළකායේ ප්‍රධානී,යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රටවල් 192 ක් අදාළ එන්නත් ඉල්ලා තිබෙන බවත් ශ්‍රී ලංකාව කොවිඩ් වෛරසය පාලනයේදී දක්වා තිබෙන ප්‍රගතිය මත එන්නත් ලබාදීමේදී අපට ප්‍රමුඛතාවක් හිමිවනු ඇති බවත් ඒ මහතා කීය.

යුද හමුදාපතිවරයා අද (29) ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

පරිත්‍යාග ලෙස මෙම එන්නත් ලැබීමට ඉඩ තිබෙන බවත් එසේ නොවුනත් ඕනෑම මුදලක් ගෙවා එම එන්නත් ආනයනය කරන ලෙස ජනපතිතුමන් උපදෙස් ලබාදී තිබෙන බවත් යුද හමුදාපතිවරයා පැවසුවේය.

එක්සත් රාජධානිය තුළින් හඳුනාගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය දැනට මෙරටින් සොයාගෙන තිබෙන වෛරසයට වඩා 70% ක වේගයකින් ව්‍යාප්ත වන බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබෙන බවත් එය රටට ඇතුළු වීම වළක්වා ගැනීමට සියලු පියවර ගෙන තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

කොවිඩ් වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට මෙරට ජනතාව අතරින් අති බහුතරයකගේ සහය ලැබෙන නමුත් සුළු පිරිසක් සෞඛ්‍ය නිර්දේශ වලට පටහැනිව ක්‍රියාකරමින් රට අවධානමට පත්කරන බවත් අත්‍යවශ්‍යය කාරණයට හැර බස්නාහිර පළාතින් පිට නොවන ලෙස දැනුම්දී තිබියදී ඇතැමුන් වගකීම් රහිතව ක්‍රියාකරන බවද ශවේන්ද්‍ර සිල්වා මහතා කීය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

More Stories