අනුරාධපුර දිස්ත්‍රික්කයට හා ජල පෝෂිත කළාප වලට අධික වැසි ලැබීම හේතුවෙන් දින කිහිපයකට පෙර විවෘත කළ කැකිරාව කලාවැව ජලාශයේ වාන් දොරටු දෙක නැවතත් අඩි හය බැගින් විවෘත කිරීමට ජලාශය බාර ඉංජිනේරුවන් ඊයේ (11දා) උදෑසන කටයුතු කර තිබේ.

දින කිහිපයක සිට අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන ධාරානිපාත වැස්ස සමග වැවේ ජල ධාරිතාව අධිකවීම නිසා වාන් දොරටු දෙක අඩි දෙක බැගින් ඊයේ (11දා) නැවත විවෘත කෙරුණි.වාන් දොරටු අගුළු විවෘත කිරීමත් සමග තප්පරයට ඝණ අඩි 6212ක ජල ධාරිතාවක් කලාවැව ඔස්සේ රාජංගනය ජලාශයට එක්කාසුවේ.

පසුගිය වසරේ දෙසැම්බර් 23දා ජලාශයේ වාන් දොරටු විවෘත කළ අවස්ථාවේ තත්පරයට ඝණ අඩි 4200ක පමණ ජලධාරිතවක් පිටතට නිකුත් කළත් මෙවර ජලාශයේ අධික ජල පීඩනයක් පවතින හෙයින් තත්පරයට ඝණ අඩි 6212 පමණ ප්‍රමාණයක් නිකුත් වන බව වාරි නිලධාරින් පවසති.

ජලාශයට එක්වන ජලය ප්‍රමාණය අධිකවීම නිසා දහවල් වනවිට පිටකරන ජල ධාරිතාව මීට වඩා ඉහළයා හැකි බවත් වාරි නිලධාරින් වැඩිදුරටත් පවසති.

අනුරාධපුර මධ්‍යම විශේෂ /බී.මහේෂ් විජේසුරිය

More Stories