වත්කම් හා බැරකම් ප්‍රකාශන නීතිය යටතේ සුදුසු පරිදි නඩු පැවරීමේ බලය ලත් ආයතනය වන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවයි. පසුගිය කාලයේ මේ ආයතනයට පැවරුණේ සුළු-පටු රාජකාරි ගොන්නක් නොවේ. 2015දී බලයට පත් ආණ්ඩුවට ඇවැසි වූයේ අල්ලස හා දූෂණයට විරුද්ධව සටන් කරන්නය; නැති නම් අල්ලස් දූෂණ හා මංකොල්ලකෑම් රටට හෙළිදරවු කරන්නය. එහෙත් එය ඉටු කළ යුතු වූයේ නීත්‍යනුකූල දීර්ඝ ක්‍රියාවලියක් ඔස්සේ වූ බැවින් ඒ අපේක්ෂා කළ පරිදි මේ අරමුණ කරා යා නොහැකි විය. ඒ අතර මෙය කරන්නා වූ ක්‍රමවේදය කුමක්ද යන්න බොහෝ දෙනකු දැන සිටියේ නැති බැවින් ‘කෝ අල්ලපු හොරු…!‘ යනුවෙන් ඇතැමෙක් අසන්න වූහ.
හොරුන් අල්ලන්නද, අපරාධකරුවන්ට දඬුවම් පමුණුවන්නද රටක ශක්තිමත් නීති පද්ධතියක් තිබිය යුතුය. 1994න් පසු අල්ලස් සම්බන්ධ නීති හෝ වත්කම් බැරකම් නීති හෝ කාලයට ගැළපෙන පරිදි සංශෝධනය වූයේ නැත. මේ වන විට කාලය, හොරකමේ ප්‍රමාණය, වටිනාකම වෙනස් වුවද මේ සම්බන්ධයෙන් හොරු ඇල්ලීමට ඇති නීතිය වසර 25කටත් වඩා පැරැණිය. බොහෝ දෙනකු අල්ලස නැති කරන්නට කතා කළද එය ක්‍රියාත්මක කිරීමේ අඩු-පාඩු හෝ වෙනස් කළ යුතු තැන් කතා කළේ නැත. ඔස්ට්‍රේලියාවේ වියානා නුවරදී පැවැත්වූ දූෂණ විරෝධි පනතට රටවල් 180ක් සමඟ ශ්‍රී ලංකාවද අත්සන් කළත්, මේ පනතින් අපේක්ෂා කළ නිසි දූෂණ විරෝධි මාර්ගයට ලංකාව ප්‍රවිෂ්ට වූයේ නැත. එහෙත් වර්තමානයේ එහි අධ්යක්ෂ ජනරාල් වන ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතාගේ පැමිණීමෙන් පසු ඔහු සතු හසළ දැනුමින් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීමේ සූදානමකට ප්‍රවිෂ්ට වන්නට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හැකි විය.