mahindananda

සංචරණ සීමා පැනවීම නිසා ආදායම් අහිමිවූවන්ට සහ රජයේ සහනාධාර හිමි සියලු දෙනා වෙත මූල්‍යාධාර පිරිනමන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආධාර මුදල් ලබාදීම කඩිනම් කරන බවත් ඒ අනුව පවුල් ලක්ෂ විසිඅටකට එම ප්‍රතිලාභ හිමිවන බව මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

කොරෝනා කොවීඩ් වසංගත තත්ත්වය පාලනය සහ ප්‍රගති සමාලෝචනය නිමිත්තෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

සංචරණ සීමා පැනවීම නිසා ආදායම් අහිමිවූ සියලු පාර්ශව වෙත රජයේ අධාර මුදල් හිමිවන බවත් එහිදී කිසිදුවෙකුටත් අසාධාරණයක් සිදුනොවන බව ඒ මහතා කීවේය.

ඉදිරි 31 වන දින මධ්‍යම පළාතේ තොග ව්‍යාපාරික ස්ථාන පමණක් විවෘත කොට එහි සිට ලොරි රථ මගින් ගම්මාන දක්වා භාණ්ඩ බෙදා හැරීමේ වැඩපිළිවෙලක් පිළිබදව අද සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

ඒ අනුව පාරිභෝගිකයන් අසලටම භාණ්ඩ ලබාදීම සිදුවන බවත් එය විධිමත් කිරීම සදහා අවශ්‍ය සම්බන්ධීකරණය ප්‍රදේශීය ලේකම්වරුන් විසින් සිදුකරනු ඇතැයි ද ඒ මහතා කීවේය.

දැනට පවතින පොහොර ගැටලුවට පිළියමක් ලෙස කාබනික පොහොර ආනයනය කිරීම ඉදිරියේදී සිදුවන බව ද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරු ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Similar Posts