පුරා මාස හයයි දින තුනක් ගත වු මනරම් පරිසර හිතකාමි වංගගිරි මාවත සුන්දර මාවතේ ගමන දුෂ්කරය.

මේ වංගගිරි මාවතේ පා තබන්නට ඔබටත් මේ මස එනම් ජූලි මස 03 වන දින සිට ජූලි මස 09 දින දක්වා අවස්ථාව තිබේ.

සුන්දර වු පරිසර චාරිකාවකි.ආගමික භක්තිය ඇතිවන හිත ගත සමාධිගතවන විසල් වූ පරිසර දහම් චාරිකාවකි.

ජීවිතයද වංගගිරියකි.ජීවිතය ගැන යමක් කියනා කතාවක් ගමනක් මෙන්න යන්න එන්න මේ සුන්දරවු වු ලංකාවේ මෙතෙක් ඉදි කළ දිගම දුෂකරම වූ අතුරු මාර්ග සහිතව ඉදිකළ වංගගිරි මාවතේ කතාව මෙන්න!


මිහිදුම් තිරපට විවර වන දහසක් බුදුන් වන මේ ලස්සන උදෑසන අප පියමන් කරන්නට යන්නේ අතිශය දුෂ්කර මාවතකය.ගමන බිය කරුය.බාධක ඇති රළු වූ මේ මාවතේ,මඟ දැනගෙන යන්නට උවමනායය.ගමන දුෂ්කර වුවද අපට මේ දුෂ්කර මාවත දිගේ වනාන්තරයට ගමන් කරන්නට උවමනාය.මේ අපේ කාලයේ වන මැද පිහිටි වංගගිරි මාවතයි.අපට,ගමනට,නායකත්වය දෙන්නේ මගේ කලන මිත්‍රයකු වූ ඕපාත ධම්මදින්න හිමියෝ ය.අපි දැන් මේ වංගගිරි මාවතේ ගමන අරඹමු.

පුරාණ දඹදිව භූගෝලීය පිහිටීම සලකා බැලීමේදී අපට හමුවන ප්‍රධාන අංගයක් ලෙස පර්වත පිහිටීම හදුන්වා දිය හැකි ය. ත්‍රිපිටකය හා අනෙකුත් බෞද්ධ පොතපතට අනුව එදා ජන්බුද්වීපයේ ව්‍යවහාර වූ කදු වැටි කීපයක් හදුනා ගත හැක.සෘෂිගිලි,වේහාර වැනි සෘෂිගිලි සූත්‍රයේ පර්වතයන් මෙන්ම මහාමේරු පර්වතයද ඒවා අතර වෙයි.අදවන විට දඹදිව හා ඉන්දියාව පටලවා ගැනීම නිසා එවරස්ට් කදු වැටියද මේ ඉතිහාස කතාවට පටලවාගෙන තිබේ.

හිමවත පිළිබඳව පතපොතේ සඳහන් වන්නේ ද සුන්දරවු කතාවකි.එය පාදක කොටගෙන මෙම මනරම් වංගගිරි මාවතේ නිපැයුම,බාදුරාගොඩ,කැප්පිටිවලාන,ගස්පේ ශ්‍රී ශෛලතලාරාම සුන්දර ප්‍රණ්‍ය භූමියේ සකස් කර තිබේ.

ත්‍රිපිටකයේ හිමවත යන්න සිංහලට පරිවර්ථන කිරීමේදී හිමාලය ලෙස අර්ථ දක්වා ඇති නිසා ඉන්දියාවේ හිමාල කදුවැටිය ඒ සඳහා ඈදාගෙන ඇති නමුත්,සැබවින්ම හිමවත යනුවෙන් අදහස් කරන්නේ මූකලාන හෙවත් කැලය යන්නයි.එය පර්වත ආශ්‍රිත පිහිටීමක්ද විය හැකි ය.එමෙන්ම අතීතයේදී සිංහල ගැමියෝ සිරි පා කරුණා කලේ හිමේ යනවා යන කියමන් සමගිනි.සැබවින්ම ඒ ආශ්‍රිත ප්‍රදේශය වන ආශ්‍රිත ප්‍රදේශයක් නිසා ඒ ප්‍රදේශය හිමවත ලෙස හැදින්වීමටද හැකි ය.

කෙසේ නමුත්,මේ වංගගිරි මාවත සකස් කරන්නට පියවර ගත්තා වු අපේ කායේ තරුණ හිමිනමක් වු බඩල්ගම කටුකෙන්ද ශ්‍රී ‍ශෛලතාලාරාමාධිකාරි,සඳලංකා ජාතික පාසලේ ආචාර්ය සඳහම් අරුණ නිර්මාතෘ,කවි පද,විරිඳු පද හා ගී පද රචක සද්ධර්මවාචිස්සර ශ්‍රි සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන සෝබන කාව්‍ය විසාරද,කාව්‍ය ශ්‍රී පූජ්‍යපාද ඕපාත ධම්මදින්න හිමියෝ මේ මහා සත්කාරයේ නායකත්වය ගෙන සිදුකළ විසල් නිපැයුමේ අරුමය අප සමඟ මෙසේ පැවසුහ.

අපේ කාලයේ මේ මහා වංගගිරි මාවත සකස් කර තිබෙන්නේ බාදුරාගොඩ කැප්පිටිවලාන,ගස්පේ ශ්‍රී ශෛලතලාරාම සුන්දර ප්‍රණ්‍ය භූමියේ ය.මෙය සුන්දර වු පරිසර නිපැයුමකි.මනස සමාධිගත කරගෙන ඔබත්, රටේ සැමටත්, නැරබිය යුතුම මහා පරිසර නිර්මානයකි.

කිලෝ මීටර දෙකකට ආසන්න දුරක් යා යුතුව ඇති මේ වංගගිරි දුෂ්කර මාවත සකස් කරන්නට පුරා මාස හයක් දින තුනක් ගත වීම ද පුදුම සහගතය.ඒ සඳහා අප ඕපාත ධම්ම දින්න හිමියන්ට දිවා රාත්‍රී මහා කැපකිරීමක් කරන්නට සිදු වුයේ පරිසරයට කිසිදු හානියක් සිදු නොවන පරිදි මේ මනරම් නිපැයුම සකස් කරන්නටය.

බිය,සැකය,කුතුහළය,වන සතුන් හා සොඳුරු වු තවත් පරිසර නිපැයුම් රැසක් සහිතව වංගිරි මාවත සකස් කරන්නට ගිය කාලය විසල්ය.විශාලය.ඒ වාගේම මේ මනරම් සැකසුම් වංගගිරි මාවත සත්තකින්ම සුන්දරය.පාලම්,මහා ගිරිහෙල්, නැතිතලා ආදිය සහිත මේ වංගගිරි මාවත සකස් කරන්නට සියල්ලම වාගේ කිසිදු ආකාරයට පරිසරයට හානියක් සිදුනොවන පරිදි පරිසරයේ රසය,මිහිර,සැනසුම,පරිසරයේ ලතාව එක් කර ගත්තා සමහර අවස්ථවලට ගැලපෙන පරිදි යම් ඉදිකිරිම් සිදුකරන්න සිදු උනා.ඒ සඳහා පුවක් ගස් දහයක් පහළොවක් වගේ උවමනා උනා.උන ගස් 150 ක් වගේ යම් යම් නිපැයුම් සකස් කරන විට මාවතේ මේ ගස් යොදා ගත්තා.

බාදුරාගොඩ,ගස්පෙ ශ්‍රී ශෛලතලාරාම උතුම් පිං බිමෙහි මේ මහා ඉදිකිරීම සිදු කළා. බාදුරාගොඩ,ගස්පෙ ශ්‍රී ශෛලතලාරාම විහාරාධිපති මොරපිටියේ අප සමිතහිමියන්ගේ උපදෙස් පරිදි, විහාරාධිකාරි උජිතසෝම හිමියනගේ ඉල්ලීම පරිදි තමයි මෙය සකස් කරන්නේ.මේක අරුම පුදුම විශ්මිත වූ මනරම් නිපැයුමක් කියලා කියන්න හැකියි.

අපට මේ වංගගිරිය සකස් කරන්න වසර ගණනාවක් අධ්‍යනය කරන්න සිදු වුනා.එයට උපදෙස් දුන්නේ සුදු සීයා තමයි.සුදු සීයා එයා අද නෑ.සුදු සියා තමයි මේ අදහස් අපට පරිසරයට එක් කරන්න පාඩම කියා දුන්නේ.සුදු සීයාට පිං ලැබෙන්න කියා කියනවා.

මමත් මගේ මිතුරෝ කිහිප දෙනෙක් තමයි මෙය සකස් කළේ. චාමර,ඉෂාර,නන්දන මෙහි දී මතක් කරන්නම වෙනවා.ඒ තරුණ ඇත්තෝ තම ශක්තිය ජවය,විහාරයට,ආගමට තියන භක්තිය නිසා මේ සත් කටයුත්තට දිවා රෑ මා එක්ක කටයුතු කළා.පාලම් බෝක්කු,ගිරිදුර්ග සකස් කරන්නට ලී දඩු කපන්න.මාවතේ ගමන් කරන ඇත්තන්ට,අනතුරක් නොවන පරදි මාවතේ ආරක්ෂාව,සියල්ලම අපි සකස් කළා.

මෙය දැක බලා ගන්න ගමන් කරන්න මේ මාසයේ එනම් ජුලි 03 වන දින සිට ජුලි 09 වන දින දක්වා ඔබටත් මෙහි පැමිණිය හැකියි.මේ වංගගිරි මාවතේ ගමන ජිවිතයට ජීවිතය කියා දෙන්නා වු එක්තරා කතාවක් ද වෙනවා.

වංගගිරියේ ගමන සත්තකින්ම රටට නවතම වු අත්දැකීමක් වෙනවා.අපි සකස් කළ මේ වංගගිරි මාවතේ ගොස් අතරමන් වන අයට කෙසේ හෝ මාර්ගය සොයා ගෙන මේ මාවත දිගේ පරිසර එක්ක කතා කරමින්,සුන්දරත්වය විදිමින් වනාන්තරයක රසය,මිහිර,පරිසරය එක්ක සමාධිගත බව ඒ සියල්ලම විදිමින් සුන්දර පරිසර චාරිකාවක් කියලා කියන්න හැකියි.ආගමික වන්දනාමය චාරිකාවක් වශයෙන්ද මේ වංගගිරි මාවත ඔබට විසල් වු මිහිරක් අත්දෑකිමක් ලබා ගන්නට හැකියි.

වෙස්සන්තර රජ්ජුරුවන් හිමේ ගියේ වංගගිරිය තරණය කිරීමට ය.වෙස්සන්තර රජු ගිය හිමාල දේශය සිටියේ පරිසර හිතකාමි පරිසරයකය.හිම වලසුන් නම් නොවේ ය.මකාදේව රජු නර කෙසක් දැක (ඉදිණු කෙස් ගහක් දැක) අනිච්ච මෙනෙහි වී තපස් රකින්නට ගියේ ද හිමවතේ දුෂ්කර වනයට මිස හිම කිරම ඇඳ හැලෙන ශීත හිමයේ නොවෙයි කියලා තමයි පොත පතේ සඳහන් වන්නේ.

සත්තකින්ම අපේ ජාතක කථා බොහොමයක ම බෝධිසත්ත්වයෝ කථාවසානයේ හිමේ වඩිති.හිමාලයේ තපස් රකින්නට යන තාපසයින් කාෂ්ට වනයේ රූස්ස ගස් ගල් අතර භාවනායෝගීව සිටින්නේ ශුෂ්ක බව තබමින් මිස හිම සිසිල දරමින් නොවේ ය.

එසේ ම,විනය පිටකයේදී විශාලා මහනුවර ආශ්‍රිතයේ හිමවත පිහිටීම එනම් අද යාල (කැබිලිත්ත) ප්‍රදේශය දක්වා ඇති අතර එයින් දැක්වෙන්නේ කැලය යන අර්ථය යන්න පැහැදිලිය. හිමවත යන්න ශීත ප්‍රදේශ හැදින්වීමට ද විවිධ තැන්වලදී යොදාගෙන ඇත.සරලව සටහන් කරන්නේ නම්,හිමවත යනු වන ආශ්‍රිත වූ සිසිල් පරිසරයකට උරුමකම් කියන නිදහස් වූ ප්‍රදේශයකි.

මෙම හිමවත පිළිබද අංක 1858 දරණ හිමාල විස්තරය නම් පුස්කොල ග්‍රන්ථයේ ද,අංක 1855 දරණ හිමාල අලංකාරය යන පුස්කොල ග්‍රන්ථයේද සදහන්ව ඉතා නිවැරදිව සටහන් කර තිබේ.

ඒ විසල් වු වනය පියකරුය.රසවිතය.දිවියන් දැක හුණු භයින් දිවන මුවෝද මරණභයින් තැතිගත් සිත් හැර ඒ කුරවීනාදම අසා සිටින්නාහ.අහසින් යන පක්ෂිහුද පියා නොසලා පක්ෂපත්‍ර පසාරණය නොකොට නිශ්චලව සිටින්නාහ.දියෙහි මතසය්යෝද වරලපත් නොසොල්වා ඒ ශබ්ධයම අසා සිටින්නාහ.මෙසේ මධුර රසයෙන් කන් කළුවූ කුරවී කෙවුලෙලා මේ හිමාල වන ප්‍රදේශයෙහි බබලන්නේය.මේ හිමාල පර්වත නම් ආදි වශයෙන් හිමාල විස්තරය රසවත්ව ලියා සටහන් කර ඇත්තේය.එය කොතරම් සිත සමාධිගතවන පරිසරයක් දැයි සිතේ.

සත්තකින්ම මෙහි දැක්වෙන අන්දමට හිමාල දෙසේ සිටින්නේ වන සතුන් මිස හිම කීරමේ සිටිනා හිම වලසුන් වැන්නවුන් නොවේ.එසේම ඒ පරිසරය ගස්වලින් ගහන වන ප්‍රදේශයක් මිස හිම වලින් ගහන එවරස්ට් කදු වැටියක් නොවේය.සැබවින්ම මේ විස්තරවලට ගැලපෙන්නේ අද ශ්‍රී ලංකාවේ සමනල කන්ද ආශ්‍රිත ප්‍රදේශයය බව පෙන්වා දිය හැකිය.

අම්බන්ට්ට සූත්‍රයේද,සංයුත්ත නිකාය,අභිසමය සංයුත්තයේද,එහිම සච්ච සංයුත්තයේද,අංගුත්තර නිකාය, පඤ්චක නිපාත පාළි බ්‍රාහ්මණ වග්ගයේද,ඛුද්දක නිකාය අපදාන පාළි අදියෙහි ද මේ හිමවත පිළිබඳව සඳහන් කර තිබේ. ඒ ත්‍රිපිටක මූලාශ්‍රවල අනුව හිමවත ලෙස නිගමනය කල හැක්කේ යම් ශීත පරිසර පද්ධතියක් සහිත පරිසර සුන්දරත්වය සහිත වන අරණකි.වනාන්තරයකි.මහ මූකලානකි.

අප හිමියන් සකස් කර ඇති,ලංකාවාසි,ලෝකවාසි බොදු බැතිමතුනට ගමන් කරන්නට සලසා දෙන මෙම,වංගගිරි මාවත ද ඉදිකර ඇත්තේ මේ පරිසරය සිහිගන්වන ආකාරයෙනි.

පත පොතේ සඳහන් පරිදි,ඇතැම් තැන්වලදී හිමවත පබ්බත ලෙස (තං කිං මඤ්‌ඤථ,භික්‌ඛවෙ,කතමො නු ඛො මහන්‌තතරො – යො චායං මයා පරිත්‌තො පාණිමත්‌තො පාසාණො ගහිතො, යො ච හිමවා පබ්‌බතරාජා-ති මජ්ඣිමනිකාය,උපරිපණ්ණාසක,සුඤ්ඤතවග්ග, 9 සූත්‍රය) ද දක්වා තිබේ.කදු ආශ්‍රිත සීත වන ප්‍රදේශ මින් හදුන්වා ඇති බව නිගමනය කළ හැකිය.

ඒ මේ එදා මෙදා තුර අප දන්නා වු හිමවත නැති නම් වංග ගිරියේ කතාන්දරයයි.එය දෑසින් දකින්නට තිබේනම් කොතරම් අගනේ ද මෙම සුවිශේෂ වු කටයුතුට පන දුන් අප හිමියෝ මේ කතාන්දරය දකින්නට,අසන්නට,බලන්නට පමනක් නොව වංගගිරියේ පුරා පැය ගණනාවක් ගමන් කරන්නට යන්නටද හැකි මහා දුෂ්කර මාර්ගය නිර්මානය කරන්නේ 2023 ජනවාරි මාසයේ සිටයි.එම වංගගිරි මාවත රමනීය කැලයක් මධ්‍යයේ සකස් කරන්නට පුරා මාස හයකුත් දින තුනක් ගත වු බව බව හිමියෝ පැවසුහ.

එම දුෂකර වු මාවත අද සිට එනම්,2023.07.03 වන දින සිට ලාංකාවාසි ලෝකවාසි දෙස් විදෙස් ඕනෑම පුද්ගලයෙකුට දැකබලා ගත හැකිය.ගමන් කළ හැකිය.හැබැයි කිවයුතු අමුතු කතාවක් තිබේ.ඒ මේ වංගගිරි මාවතේ ගොස් පරිස්සමට එන්න උවමනාය.නැති නම් වතුරු මාර්ග හෝ අතුරු මාවත් සෙසු මාවත් දිගේ ගොස් ඔබට මේ ගමන යන්නට නොහැකියි. අතරමං වෙනවා.

නමුත්,වංගගිරි මාවතේ.ගමනේ අවසාන දක්වා නම් මංමුලා වු මාවත් දිගේ ගමන් කළ හොත් කිසිදු දිනක මේ ගමන නිමාවක් දැකිය නොහැකියි.ඒ ආකාරයට මංමුලාවන්නට හැකි පරිදි මෙම මාර්ගය වංගගිරි මාවත සකස් කර තිබේ.

ඒ නිසා මේ ගමන සත්තකින්ම දුෂ්කරය.පරිසරයේ නින්නාදය,පරිසරයේ රසය,එක්ක සුන්දර වු වන්දනා ගමන් යන්නට හැකි පරිදි සකස් කළ මේ වන ගිරියේ වංගගිරි මාවත සත්තකින්ම පරිසරයට කිසිදු හානියක් නොකර සිදුකළ මහා නිපැයුමකි.බලන්නට දකින්නට ගමන් කරන්නට යන්නම හිතෙන සුන්දර වු චාරිකාවකි.

සටහන හා ඡායාරූප නිමල් අල්ගෙවත්ත

More Stories