පසුගිය 18 දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 186 ක් සිදුවී ඇති බව රජයේ නිළ දත්ත ප්‍රකාශ කරනවා. මේ විදිහට මියගිය අය අතර වයස අවුරුදු 30 අඩු පුද්ගලයින් 4 දෙනෙක්, වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 35 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 147 දෙනෙක් ඉන්නවා.
රජයේ දත්ත අනුව මේ වෙනකොට කොරොනා මරණ පොකුර 6,790 ක් දක්වා ඉහළට ගිහිං තිබෙනවා. අපි නැවත නැවතත් හිතන්න ඕනෑ මේ ගණන් මිනුම් හරියටම හරිද කියලා.. හරිම සංඛ්‍යා දත්ත මීට වඩා ගොරහැඩි සහ බිය ජනක විය හැකියි. ඉතිං මෙච්චර මිනිස්සු මිය යද්දි ලංකාව කියන රාජ්‍යයට මොකද්ද කරන්න පුලුවන් වෙලා තියෙන්නේ. වෛද්‍ය විශේෂඥයන් දැන් කාලෙක ඉඳලා රජයෙන් ඉල්ලනවා විද්‍යාත්මක ලොක්ඩවුන් එකකට යන්න කියලා.
ඒත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ රජයට එය ගැන කමක්කාරියක් නැහැ. ආණ්ඩුව පාර්ශවයෙන් එන අදහස තමයි රට වැහුවොත් අපේ ආර්ථිකය නැත්තටම නැතිවෙයි, ඒක විනාශ වෙයි කියන දේ. අපි නවසීලන්තය ඕස්ට්‍රේලියාව වගේ නෙවෙයි ය අපිට රටවහලා මිනිස්සු ජීවත් කරන්න බැරිය කියලා බන්දුල ගුණවර්ධන වගේ ආර්ථික ටියුෂන් ගුරු ඇමතිවරු ප්‍රකාශ කරනව. ඔව් මේ සේරම ඇත්ත.. රටේ ආර්ථිකය දැනටත් කඩාගෙන වැටිලා අහවරයි. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ කොවිඩ්වලින් මියගිය මනුස්සයෙක් වගේ මේ ආර්ථිකය භූමදානය කරලා දාන්න ද?
මේ වෙනකොට ඉන්ධන, ගෑස්, සිමෙන්ති, කිරිපිටි වගේ බොහෝ දේවල්වල හිඟයක් තමයි තියෙන්නේ. විදෙස් රටවලින් ආනයනය කරන බොහෝ දෑ මේ වෙනකොට එන්නේ නැහැ. හේතුව ඩොලර් නැතිවීම. අප සතු විදෙස් සංචිතවලට මොකද්ද වුණේ? නිදහසින් පස්සේ ඒවා වර්ධනය නොවුණේ ඇයි? අපි මෙතරම් විශාල ණය උගුලක හිරවුණේ ඇයි? අපි ණය ගත්තේ මොකටද? ඒ ගත්ත ණය වලින් අපි මොනවද කරලා තියෙන්නේ? ඇයි අපිට අපනයන ආර්ථිකයක් හදාගන්න බැරිවුණේ?
සුද්දා දීලා ගිය වතු ආර්ථිකයට අපි මොනවද කළේ? ඇයි ඒකට කෙළවුණේ? මේවගේ ප්‍රශ්න කෙළ කෝටියක් අපි ඉස්සරහා දත් විලිස්සලා හිනාවෙනවා. ඇත්තටම අබ වපුරලා මුං බලාගෙන ඉඳලා වැඩක් නැහැ. අපි මෙච්චර කල් කරලා තියෙන්නේ අබ වපුරලා මුං නෙළන්න අත් සෝදපු එක නෙවෙයිද?
දෙකයි පනැහේ නායකයෝ
නිදහසින් පස්සේ අපිට හිටපු නායකයෝ හැම දෙනාම වගේ දෙකයි පනැහේ කිසි බරක් නැති සිප්පි කෑලී. කඳ බඩ තිබුණට මොළය තිබුණේ නෑ. සමහරුන්ට මොළය තිබුණට කොන්ද තිබුණේ නැහැ. ඩීඑස් මහාමාන්‍ය උනාට මේ රටට දාපු පදනමක් නැහැ. අදහස් තිබුණ මිනිස්සුන්ට ඉඩක් තිබුණෙත් නැහැ. ඩඩ්ලි නිරහංකාර සුමට නායකයෙක් උනාට මොළයක් නැහැ. කොතලාවල උන්නැහේ ට තිබුණේ යකඩ කොන්දකුයි සෝපාසය අවුස්සන හැසිරීමකුයි විතරයි.
එස් ඩබ්ලිව් ආර්ට තිබුණේ රැල්ලට පැනලා රටේ නායකයා වීමේ හැකියාව සහ රට විශාල උගුලක සිරකරලන වැරදි කොනෙන් රැල්ල අල්ලා තමන්ගේ සරමට ගැටගහලා යටින් කලිසන් කොටයක් ගසාගැනීමේ හැකියාව විතරයි. සිරිමා බණ්ඩාරනායක වටේ නමගිය වාමාංශිකයෝ පෙළ ගැහිලා හිටියට ඔවුන් තමයි සුද්දා දීලා ගිය රට විනාශයේ පීල්ලට හරියටම සෙන්ටර් කළේ. මේ වාමාංශිකයන්ගේ හැසිරීම සහ රාජ්‍ය පාලනය නිසා තමයි ජේ ආර් ජයවර්ධන බලයට එන්නේ. ඔහුට මේ රට දියුනු කරන්න යම් අදහසක් තිබුණා. ඔහු ඒ සඳහා යම් පදනමක් දැම්මා. හැබැයි ඔහු ලී ක්වාන් යූ වගේ දක්ෂයෙක් නෙවෙයි. සමහර විට ඔහු ජනාධිපති ධුරයට එනකොට සිටි වයස මේ අබ්බගාත ආර්ථිකකරණයට බලපාන්න ඇති.
ජේ ආර් ගේ කාලේ ආර්ථිකයේ දියුණුවට යම් යම් පදනම් හැදුනත් ඊළඟට එන්නේ ආර් ප්‍රේමදාස. අගමැති ප්‍රේමදාසට වඩා ජනාධිපති ප්‍රේමදාස කියන්නේ මෝඩයෙක්. ඊට පස්සේ ජන රැල්ලක් එක්ක එන චන්ද්‍රිකා කුමාරතුංග රටට නව ව්‍යවස්ථාවක් ගෙනල්ලා යම් වෙනසක් කරන්න උත්සාහයක් ගත්තත් ඒක සාර්ථක වුණේ නැහැ.
ඇයටත් රාජ්‍ය පාලනයට තිබුණේ පවුල් උරුමයක් විතරයි. මංගල_ එස්බී වගේ ප්‍රේමදාස පන්නයේ අමාත්‍යවරුන්ගේ හැසිරීම් නිසා චන්ද්‍රිකා මුල ඉඳලාම අනාගත්තා කියලා තමයි මට නම් හිතෙන්නේ. එතනින් පස්සේ මේ රටේ පාලනය ගැටගැහෙන්නේ හම්බන්තොට රාජපක්ෂ පවුලට. චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් පස්සේ ලක්ෂ්මණ් කදිරගාමර් වගේ කෙනෙක්ට රාජ්‍ය පාලනය ගියා නම් ඩීඑස් ගෙන් පටන් ගත්ත මේ උපන්ගෙයි දෝෂයට යම් හෝ විසඳුමක් එන්න ඉඩ තිබුණා. ඒත් ලංකා රාජ්‍ය එච්චර පිං කරලා නැහැ.
රටට හොඳටම කළේ රාජපක්ෂවරු
මනුස්සයා කියන්නේ උපන්ගෙයිම තමන් ගැන හිතන ස්වාර්ථය මතම පදනම් උන ජීවියෙක්. මිනුසතාගේ ජානවලම ඒ ස්වාර්ථය ගැන අනුරාගය සහ ආසාව තියෙනවා. මිනිස්සු හිතන්නේ තමන්ගේ ජානවල සුරක්ෂිතතාවය ගැන මිසක් අනෙක් මිනිස්සුන්ගේ ජාන ගැන නෙවෙයි. තත්ත්වය මේක නම් ලෝකයේ ගොඩක් රටවල් දියුනු උනේ කොහොමද? ඇත්තටම ඒ රටවල් දියුණු උනේ ආචාර සහ සදාචාර රීතින් පද්ධතියකට පාලනය යටත් කිරීම හරහා. නිදහසින් පස්සේ තවමත් අපිට කරගන්න බැරිවුණෙත් ඒකම තමයි. ලී ක්වාන් යූ වගේ කෙනෙක් ගත්තොත් ඔහු සිංගප්පූරුව අස්සේ මේක කළා.
මේක නොකරපුවාම වෙන්නේ රට බල්ලාට දාලා දේශපාලකයෝ සල්ලි හම්බකරගන්න එක. දියුනුයි කියන රටවලත් මේක ඇති, හැබැයි ඒක අවමයි. රාජපක්ෂ ආණ්ඩු තමයි මේක හොඳටම කරේ කියලා අපිට ඇත්තටම ආඩම්බරයෙන් කියන්න පුලුවන්. මහින්ද රාජපක්ෂ යුගය තමයි විදෙස් ණය විශාල වශයෙන් ගත්ත කාල වකවානුව. (අනෙක් කාලවල නොගත්තා නෙවෙයි, නමුත් ඒ කාලවල ණය ගත්තේ අර මුලින් ගත්ත ණය ගෙවන්න).
හම්බන්තොට නගර සංවර්ධනය ගැන හිතන්න. මේ නගර සංවර්ධනයට ගත්ත ණය අපි ගෙවන්නේ කොහොමද? මේ ඉදිකිරීම් නිසා දැන් අපි වර්ෂිකව ඩොලර් කීයක් හම්බ කරනවාද? අපි හයිවේ හැදුවා, ඒකෙන් රටේ අපනයන ආර්ථිකය ඉදිමුණේ නැහැ. මේ සංවර්ධනයන් සඳහා ගත්ත ණය වලින් විශාල පංගුවක් දේශපාලකයන්ගේ සාක්කුවලට ගියා කියන එක රහසක් නෙවෙයි. එහෙම බැලුවාම ණය ගිහිං තියෙන්නේ සුළු පිරිසකගේ සාක්කුවට. හැබැයි දැන් පුරවැසියේ හැවෝම ඒකේ වින්දිතයෝ වෙලා. අද අපිට සති දෙකකට රට වහගන්න බෑ හේතුව බිලියන 1000ක් රටට අහිමි වීම, ඉතිං නිකං හිතන්න අපි අවුරුදු 80කට කිට්ටුව මහංසිවෙලා හදලා තියෙන්නේ රටක් ද නැත්තං පවුල් කිහිපයක්ද කියන එක. ඇත්තටම අපි තවමත් කරන්නේ පවුල් සීමිත ප්‍රමානයක ආර්ථිකය ශක්තිමත් කිරීම.
රාජ්‍ය සේවය
1802 විතර තමයි සුද්දෝ මේ රටට නූතන රාජ්‍ය සේවය කියන එක හඳුන්වලා දෙන්නේ. මේ රාජ්‍ය සේවයට කළු සුද්දෝ කළේ මොකද්ද? 2019 මාර්තු 31 වෙනකොට රාජ්‍ය අංශයේ කාර්යය මණ්ඩල සංයුතිය 730,248 (අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ත්‍රිවිධ හමුදාව). පළාත් රාජ්‍ය සේවයේ ප්‍රමානය 398,648ක්.
රජයේ ව්‍යවස්ථාපිත ආයතන සතු සේවක ප්‍රමානය 232,858. විශේෂ වියදම් ඒකක 11,212. මුළු එකතුව 1,372,966. රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අනුමත කර තිබෙන සංඛ්‍යාව 1,588,240. මේ සංඛ්‍යා දත්ත අනුව බැලුවාම එක් පුරවැසියකුට රාජ්‍ය සේවකයින් 15ක් ඉන්නවා. නිකං හිතලා බලන්න ඔබට සේවය කරන්න ඉන්න මේ 15 දෙනාගෙන් ඔබට මේ වෙනකොට සතුටුදායක සේවයක් ලැබෙනවාද කියලා. රාජ්‍ය සේවය මෙච්චර ඉදිමුණේ කොහොමද? රාජ්‍ය සේවය මෙච්චර ඉදිමුණේ දේශපාලන පත්වීම් නිසා. මේ රාජ්‍ය සේවකයින් ප්‍රමානයෙන් 1/3ක් සිටියා නම් මදිද මේ කුඩා රටට?
අපිට හිටියේ දේශපාලන පත්වීම් අනුමත කරන රාජ්‍ය නායකයෝ මිසක් අවශ්‍යතාවය අනුව විතරක් සේවකයෝ රාජ්‍ය අංශයට බඳවා ගන්නා රාජ්‍ය පාලකයෝ නෙවෙයි. මෙතනත් තිබෙන්නේ දේශපාලකයෝ තමන්ගේ සාක්කුව පුරවාගන්නා ගමන් පුරවැසියෝ යම් තීරුවකගේත් සාක්කු පිරවීම. රාජ්‍ය සේවක පරිමාව බරවා කකුලක් වගේ ඉදිමුණාට රාජ්‍ය ආදායම ඉදිමුණේ නැහැ. අපනයන ආදායම ඉදිමුණේ නැහැ. විදෙස් සංචිත ප්‍රවර්ධනය වුණේ නෑ.
ඊට විරුද්ධව වුණේ ජාතික ආර්ථිකය කාබාසිනියා වුණ එක. රට කඩා වැටිලා පවුල් සොච්චමක් දියුණු වුණ එක. ඉතිං අපිට මෙන්න මේ තමන් ගැන තමන්ගේ පවුල ගැන හිතන පාලන තන්ත්රයන් වෙනස් කරගන්න බැරිවුණා. යහපාලනය කියලා එකක් ගෙනාවාමත් වුණේ ඒකම තමයි. චතුරිකා සිරිසේන ගේ ඉඳලා බොහෝ දෙනෙක් ධනවත් වීම විතරයි ඒක අස්සේ වුණේ. අපනයන ආර්ථිකය උඩට පැන්නේ නැහැ. හැබැයි සුදු අරලිය මල් හැමතැනම පිපුනා.
අන්තිමට අද පුරවැසියා මැරි මැරී වැටෙනකොට ඔවුන්ව රැකගන්න ආර්ථිකයක් නැහැ. හොඳ එන්නතක් වෙනුවට කසිකබල් චීන එන්නත් රුධිරයට මුහු කරගන්න වෙලා තියෙන්නේ මේ ස්වාර්ථය මතම පදනම් වුණ නායකයෝ නිසා. අද තියෙන්නේ කොරෝනාව ගරානාවක් කරගත්ත තත්ත්වයක්. ඇන්ටිජන් පරීක්ෂණ තමයි හොඳම නීදර්ශනය. මේවායින් කොමිස් මුදල් පාලකයන්ගේ සාක්කුවලට නොයනවා කියලා කැට තියන්න පුලුවන් කාටද? සල්ලි තියෙන මිනිස්සු තරු හෝටල්වල ඉඳලා නිවන බල බලා ඉඳලා මෙහායින් නතර වෙනකොට පාරේ ඉන්න මිනිහට කානුවේ වැටිලා නිවන් යන්න වෙලා තියෙන්නේ මෙන්න මේ ක්‍රමය නිසා. ඒ හින්දා මේක මෙහෙම ගිහිං විනාශවෙලා අලුත් ක්‍රමයක් ගොඩනැඟෙන්න ඕනෑ.
මේ කළු සුද්දෝ පරම්පරාවලින් රාජ්‍ය නායකයෝ කුමාරවරු සොයා යන එක අපි ඒනිසාම දැන්වත් නතර කරන්න අවශ්‍යයි. රාජපක්ෂවරු කියන්නෙත් කළු සුද්දෝ මිසක් වෙන කවුද? ඒනිසා රාජ්‍ය නායකත්වයට අපේ පන්තියේ මිනිහෙක් පත්වෙන්න අවශ්‍යයි. අපේ පන්තියේ කිව්වට ආර් ප්‍රේමදාස පන්නයේ නෙවෙයි, අපේ පන්නයේ රට ගැන එහි දියුනුව ගැන නවීන අදහසක් තිබෙන රට ගැන සිහිනයක් තියෙන නායකයෙක් සහ නායකත්ව මණ්ඩලයක් මේ මෝදුවෙන අර්බුදය හමුවේ අපි මතුකරගත්තොත් අපිට මේ අර්බුදයෙන් ගොඩට පැනගන්න පුලුවන් වෙයි. නැතිනම් ඊළඟ එන ලෝක වසංගතයට මුහුන දෙන්න වෙන්නේ ලංකාවෙ ඉන්න චීන ප්‍රජාවට තමයි..
කේ. සංජීව
රාජ්‍ය සේවකයින් පිළිබඳ දත්ත ගත්තේ මෙතනින් :