1999 දෙසැම්බර් 18දා කොළඹ නගර ශාලාව අසල පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදී එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයකින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට දකුණු ඇස අහිමි වෙමින් බරපතල තුවාල ලැබූ අතර 26දෙනෙකු ඝාතනයට ලක්වෙමින් සිය ගණනක් තුවාල ලැබූහ.
මෙම ඝාතනය ගැන විමර්ශන ද මෙහෙයවනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් බව ඔහු අයිතිය වෙබ් අඩවියට පවසා තිබිණි. එවකට පොලිස් පරීක්ෂකවරුන් වූ පී. අම්පාවිල හා ශානි අබේසේකර මෙම විමර්ශනයේ ප්‍රධාන භූමිකාවන් ඉටුකළ බව සත්‍යයකි. මෙය දක්ෂ විමර්ශනයක් ලෙස සැලකේ. මරාගෙන මැරෙන බෝම්බකාරිය ඇඳ සිටි ඇඳුමේ ලේබලයක් හරහා සොයා ගොස් අවසානයේදී කතාව මුළුමනින්ම පාහේ හෙළිදරව් කරගත් මුත්, වරදකරුවන්ට දඬුවම් නියමකිරීමට මූලික වශයෙන් උපකාරී වූයේ නඩුවේ සාක්ෂිවලට වඩා විත්තිකරුවන්ගෙන්ම ‘ලබාගත්’ පාපොච්චාරණය වීම හාස්‍යජනකය.
මේ සම්බන්ධ නඩුව මහාධිකරණයේ විභාග කළ විනිසුරු පද්මිනී රණවක ගුණතිලක විසින් 2015දී වී. වරදරාජා නම් විත්තිකරුට වසර 290ක හා සී.අයි. රඝුපති නම් විත්තිකරුට අවුරුදු 300ක සිර දඬුවම් නියම කළාය. එම දඬුවම වසර 30කින් ගෙවී යාමට නියමිතය. රඝුපතිගේ බිරිඳ වසන්ති ෂර්මා සාක්ෂි නොමැති වීම නිසා මෙම නඩුවෙන් නිදහස් වූවාය. 2000 වසරේ අත්අඩංගුවට ගන්නා ලද ඇය 2015 වනතෙක් අවුරුදු 15ක්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගත කර තිබිණි. ඇයට එම ඉරණමට මුහුණදෙන්නට සිදුවූයේ ඇගේ සැමියා නිසා බව මහාධිකරණ විනිසුරුවරිය ඇය නිදහස් කරමින් පැවසුවාය. එහෙත්, එය බොළඳ හේතු දැක්වීමකි. සත්‍ය හේතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතයි.
මෙම නඩුව සම්බන්ධයෙන් වරද පිළිගත් තවත් පුද්ගලයකුට ද අවසන් තීන්දුවට පෙර දඬුවම් නියම කරන ලද බව මතකය.
වසන්ති නිදහස් වුව ද චන්ද්‍රිකා ඝාතනය සඳහා මරාගෙන මැරෙන බෝම්බකාරිය විසින් භාවිතා කරන ලද ඇඳුම් කට්ටලය ඇඳීමට ඇය උපකාර කර තිබිණි. මෙම සිදුවීමේ සුලමුල හෙළිවීමට ඇය විමර්ශනයේදී ලබාදුන් සහාය හේතු විය. කෙසේ වෙතත්, ඇය කාන්තාවක වීම විනිසුරුවරියගේ අනුකම්පාව ඇයට හිමිවීමට හේතු වන්නට ඇත.
මෙම නඩුවෙහි විත්තිකරුවන්ට දඬුවම් නියම වන්නට මූලික හේතුව වන්නේ මහාධිකරණ විනිසුරුවරිය විසින් ඔවුන්ගේ ‘පාපොච්චාරණ’ ස්වේච්ඡාවෙන් සිදුකළ සත්‍ය ප්‍රකාශ බව පිළිගැනීමයි. එම කටඋත්තර සටහන් කරගෙන තිබුණේ එවකට සහකාර පොලිස් අධිකාරිවරයකු වූ නෙවිල් ගුරුගේ විසිනි. එම කටඋත්තර අධිකරණය විසින් පිළිගන්නේ ගුරුගේගේ කීර්තිය පදනම් කරගෙනය. ඒවා වධහිංසනය භාවිතා කරමින් වාර්තා කරගන්නා ලද කටඋත්තර බවට විත්තියේ නීතීඥවරුන් විසින් කරන ලද තර්ක ප්‍රතික්ෂේප කරන ලදී.
පසු කලෙක පද්මිණී රණවක ගුණතිලක විනිසුරුවරිය විසින් අභියාචනාධිකරණයට උසස්වීමක් ලබාගැනීම සඳහා ජනාධිපතිවරයාට බලපෑම් කිරීම සඳහා මෙම නඩු තීන්දුව උපයෝගී කරගන්නට උත්සාහ කළ බව රන්ජන් රාමනායකගේ පටිගත කරන ලද දුරකථන සංවාදවලින් හෙළිදරව් විය.
දුමින්ද සිල්වා නඩු තීන්දුව ද මේ අයුරින්ම උසස්වීම් සඳහා උපයෝගී කරගන්නට උත්සාහ කර ඇති බව විනිසුරුවරියගේ පටිගත වූ ප්‍රකාශවලින් පෙනේ. දේශපාලන පළිගැනීම් විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ද දුමින්ද සිල්වාට අසාධාරණයක් වූ බව සඳහන් වී ඇති බව වාර්තා විය.
දුමින්ද සිල්වාට නිදහස ලැබීමට විනිසුරුවරියගේ වෘත්තීය විෂමාචාර අනියමින් හේතු විය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගත කර සිටින ඇතැම් දේශපාලන සිරකරුවන්ට එරෙහි අපරාධ ඔප්පු වීමටත් එවැනි විෂමාචාර හේතුවන්නට ඇතැයි පුරහල බෝම්බ නඩුව අනුව සිතේ.
පුරහල බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් සිරගත කළ පුද්ගලයන් නිදහස් කරන්නැයි අප ඉල්ලාසිටින්නේ නැත. එහෙත්, දෙමළ ඊලාම් යුද්ධය සම්බන්ධ සිදුවීම්වලට වැරදිකරුවන් වී සිටින සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනාට පොදු සමාවක් ලබාදී, පුනරුත්ථාපනය කර, එම පරිච්ඡේදය අවසන් කළ යුතුය.
ත්‍රස්තවාදයට නැවත ඉඩ නොතැබිය යුතුය. එසේම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ද අහෝසි කළ යුතුය.