parli

පසුගිය දෙසැම්බර් 9 දා ජාත්‍යන්තර දුෂණ විරෝධී දිනය සමරන ලදී. අපේ රටේ දුෂණය පිලිබදව සලකා බලන විට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් සකස් කරන ලද දුෂණ සංජානන දර්ශකය අනුව ලංකාව සිටින තැන ගැන සැලකිලිමත් විය යුතුය. වර්ෂ 2022 ලංකාව ස්ථානගත වන්නේ රටවල් 180 ක් අතුරෙන් 101 වන ස්ථානයේයි. ලංකාව ලබාගත් ලකුණු 100 න් 36 කි. දුෂණය අඩු යැයි සංජානනය වන රටවල මේ ලකුණු ප්‍රමාණය වැඩි වන අතර දුෂණය වැඩි යයි සංජානනය වන රටවල මේ ලකුණු ප්‍රමාණය අඩුවේ. මේ දර්ශකය ආරම්භ කල වර්ෂ 1995 දී රටවල් 41ක් මෙයට සහභාගී වූ අතර ලංකාව මේ දර්ශකයට ඇතුලත් වුයේ වර්ෂ 2002දීය. එම වසරේදී ලංකාවේ ස්ථානය රටවල් 102 ක් අතුරෙන් 52 විය. එවකට ලකුණු දෙනු ලැබුවේ 10 න් වූ අතර ලංකාව ලකුණු 3.7 ක් ලබා තිබුණි. එය සියයට ගණනක් වශයෙන් ප්‍රකාශ කල විට 37 කි. ඒ අනුව එවකට සහභාහි වූ රටවල් සහ දැන් සහභාගී වන රටවල් අතර සංසන්දනාත්මකව බැලු විට අප පහලට ගොස් ඇති අතර ලකුණු අනුවද අප එකකින් පහළ ගොස් තිබේ.

මේ දර්ශකය පටන්ගත් වර්ෂයේ සිට 2022 දක්වා පළමු ස්ථාන 10 තුල සිටි රටවල් හතක් තිබේ. ඒවා නම් ඩෙන්මාර්කය, පින්ලන්තය, නවසීලන්තය,සිංගප්පුරුව, ස්වීඩනය, ස්විට්සර්ලන්තය සහ නෙදර්ලන්තයයි. මේ රටවල් බොහොමයක් උතුරු යුරෝපයේ රටවල් වන අතර ස්විසර්ලන්තය මධ්‍යම යුරෝපයේ පිහිටා ඇත. නවසීලන්තය දක්ෂිණ පැසිපික් කලාපයේ ඇති අතර සිංගප්පුරුව ආසියාවේ පිහිටා ඇත.

සිංගප්පුරු නිදසුන වෙනම ගතහොත් අනෙක් රටවල තිබෙන පොදු සංස්කෘතිය, අගයයන් සහ වටිනාකම් මොනවාද? මෙයින් ප්‍රධාන වටිනාකමක් වන්නේ නීතියේ අධිපත්‍යයයි. එමෙන්ම මේ රටවල පුරවැසියන් අතර සමානාත්මතාව, ප්‍රජාතන්ත්‍රවාදය, අව්‍යාජත්වය සහ පුද්ගලවාදී සංස්කෘතික ගුණාංග දක්නට ලැබෙන අතර මේ සියල්ලටම යටින් පදනම ලෙස තිබෙන්නේ නීතියේ අධිපත්‍යයයි.

ලංකාවේ නීතියේ ආධිපත්‍යය තිබේද? අප බොහෝ විට දේශපාලනඥයන්ට මේ සම්බන්ධව චෝදනා කරමු. අප මාර්ගවල මොටෝ රථ ධාවනය කරන විට නීතියට ගරු කරනවාද? අප ළමයින් පාසල් වලට ඇතුළත් කරන විට නීතියට ගරු කරනවාද? රජයේ කාර්යාලයක වැඩක් කර ගැනීමට ගිය විට අප රෙගුලාසි අනුව වැඩ කරනවාද හැඳුනුම් කම අනුව වැඩ කරනවාද? වැඩ කර දෙන රජයේ සේවකයාත් වැඩ කර ගන්නා මහජනතාවත් යන දෙකොට්ඨාශය ටම මෙය අදාලයි.

අපගේ රටේ කටයුතු සිද්ධ වන්නේ නීතිය අනුව නොව හැඳුනුම් කම් අනුවයි. මෙම සංස්කෘතික ලක්ෂණය පුද්ගල වාදී යුරෝපීය සමාජ වලට වඩා සමුහවාදී ආසියාතික සමාජ වල බහුලවම දකින්නට හැකිවේ. මෙය දුෂණයේ මුල් පියවරයි. එමෙන්ම සමාජ වල ඉහල ස්ථර සහ පහල ස්ථර අතර පරතරය වැඩි වන විට එම සංස්කෘතික ලක්ෂණයද දුෂණයට මග පාදයි.

මෙහි ඇති වගුවේ දුෂණ සංජානන දර්ශකයේ මුල සිටම ඉහල ලකුණු ගත් රටවල් හතේ වර්ෂ 2022 දී දුෂණ සංජානන දර්ශකයේ අගයයන්ද බල පරතරය පිලිබඳ දර්ශකය සහ පුද්ගලවාදී දර්ශකය පිලිබඳ අගයයන්ද දක්වා ඇත. ඒ අනුව සිංගප්පුරුව හැර අනෙක් රටවල් බල පරතරය අඩු එනම් සමාජ සමානාත්මතාව වැඩි රටවල් ලෙසද එමෙන්ම පුද්ගලවාදී ප්‍රවණතා වැඩි එනම් නීතියේ අධිපත්‍යය අගය කරන සහ පුද්ගල සම්බන්ධතා මත කටයුතු සිද්ධවීම අවම රටවල් ලෙසද හඳුනා ගත හැක.

එබැවින් මේ රටවල දුෂණය අවම වීම එම රටවල ප්‍රමුඛ සංස්කෘතිකාංග සමඟ සමපාත වෙයි. එබැවින් එම රටවල රාජ්‍යයන්ට දුෂණය අවම කිරීම වෙනුවෙන් විශාල පරිශ්‍රමයක් දරන්නට සිදුවන්නේ නැත.

අපි සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කථා කරමු. බුදු දහම නීතියේ ආධිපත්‍යයට ගරු කරනවාද? මහා පරිනිබ්බාන සුත්‍රයේ එන පරිදි මගධයේ ප්‍රධාන ඇමති වස්සකාර ඉදිරිපිට බුදුන් ආනන්ද තෙරුන් අමතා වජ්ජින් සප්ත අපරිහානිය ධර්ම අනුගමනය කෙරෙත් නම් ඔවුන් විනාශ කල නොහැකි බව කියා සිටියහ. ඒවායින් තුන්වන ධර්මය නොපැනවූ නීති නොපැනවිම සහ පැනවූ නීති කඩ නොකිරීමයි. මෙය නීතියේ ආධිපත්‍යය යි. විනය පිටකයේ ඉතාම පැහැදිලිව නීතිය අර්ථ ගන්වා ඇති අතර පළමුව අදාල නීතියද දෙවනුව විවිධ සිද්ධීන්ට අනුව නීතිය අදාල වන ආකාරයද දක්වා ඇත.

හැඳුනුම් කම් අනුව වැඩ කර ගැනීම ආසියාතික සහ සිංහල සංස්කෘතියේ අංගයකි. එය මුල් බෞද්ධ සාර ධර්ම වලට සපුරා පටහැනියි.

සංස්කෘතික කාරණා වලට අමතරව ලංකාවේ දුෂණයට හේතු මොනවාදැයි සලකා බැලුව හොත් රාජ්‍ය නිලධාරීන්ගේ මුර්ත වැටුප නිදහසෙන් පසුව අනුක්‍රමයෙන් පහල යාම දැක්වීමට හැක. මෙයට රජයයන් වල විසඳුම් වූයේ පළමුව ඔවුන් ආදායම් බද්දෙන් නිදහස් කිරීමයි. දෙවනුව රජයේ සේවකයන්ට විශේෂයෙන්ම වෛද්‍ය වරුන්ට පුද්ගලික සේවයේ යෙදී වැටුපට අමතරව මුදල් සොයා ගැනීමට අවසර දෙන ලදී. ඉන් පසුව රජයේ සේවකයන්ට වාහන පර්මිට් ලබාදීම හරහා ඒවා විකුණා මුදල් සොයා ගැනීමට අවසර දෙන ලදී. රජයේ සේවකයන්ට නිත්‍යානුකුලව නිසි වැටුප් නොගෙවා මෙවැනි අයථා ක්‍රම හරහා මුදල් සොයා ගැනීමට ඉඩදීම සුදුසු ක්‍රියාවක් නොවේ.

මෙවැනි ක්‍රම හරහා වුවද බහුතර රජයේ සේවකයන්ගේ මුර්ත වැටුප නිදහස ලබන යුගයට වඩා අඩු තත්ත්වයක පවතී. මෙම තත්ත්වයට බලපෑ අනෙක් හේතුව වූයේ පැවති රජයයන් තම හිතවතුන්ට සහ මැතිවරණ ක්‍රියාවලිය තුල වැඩ කරන්නන්ට රැකියා දීම සඳහා රාජ්‍ය සේවය භාවිතා කිරීමයි. එබැවින් වැඩකට නැති පිරිස් වලින් රාජ්‍ය සේවය පිරි ගිය අතර සුදුසුකම් සහිත රාජ්‍ය සේවකයන්ගේද වැටුප් වැඩි කිරීමට රජයයන්ට ඇති හැකියාව අඩු විය.

පවතින මැතිවරණ ක්‍රමය තුළ ඇති මනාප ක්‍රමය නිසා දේශපාලනඥයන් ට මනාප ලබා ගැනීම සඳහා අදාල දිස්ත්‍රික්ක වල විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කිරීමට සිදුවේ. මෙම මුදල බොහෝවිට සොයා ගැනීමට සිදුවන්නේ දුෂණය හරහාය. ඔවුන්ගේ වැටුප් ද ප්‍රමාණවත් මට්ටමක නොපවතී.

සිංගප්පුරුව මෙය නැති කලේ කෙසේද? පළමුව ලි ක්වාන් යූට අප විසින් ඉහත සාකච්ඡා කල පරිදි එරට පැවති ජනප්‍රිය සංස්කෘතියට එරෙහිව කටයුතු කිරීමට සිදුවිය. රජයේ ඇමතිවරුන් දුෂණ චෝදනා වලට හසුවූ විට නීතිය කිසිම නැවිමක් නොකර ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට ඔහුට ශක්තිය තිබුණි.මුල් කාලයේදී සිංගප්පුරුවේ අයවැය හිඟයක් තිබුන බැවින් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිරීමේ හැකියාවක් නොතිබුණි. නමුත් මේ තත්ත්වය සමනය වූ පසුව 1980 ගණන් වලදී රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන ලදී. එමෙන්ම එහි ඇමති මණ්ඩල සාමාජිකයන්ගේ වැටුප් ද ඉහළ තලයක පවතී. එමෙන්ම සුදුස්සාට සුදුසු තැන දීම නිදහස් සිංගප්පුරුවේ මුඛ්‍ය ලක්ෂණයකි.

මෑතකදී සිංගප්පුරුවේ ප්‍රවාහන ඇමතිවරයා දුෂණ චෝදනා එල්ලවූ විට අගමැතිවරයා විසින් විමර්ශන අවසන් වන තුරු ඔහු සේවයෙන් ඉවත් කරන ලදී.. ලංකාවේ ඇමතිවරයකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වූ අතර විශ්වාස භංග යෝජනාව පරාජය වීමෙන් පසුව ඔහු වෙනත් අමාත්‍යාංශයකට මාරු කරන ලදී. ඔහුට එරෙහිව කිසිම විමර්ශනයක් නැත.

අප මෙය නැති කල යුත්තේ කෙසේද? අප විසින් ගත යුතු වන්නේ සිංගප්පුරු ආදර්ශයයි. අප විසින් පවතින තත්ත්වය සම්පුර්ණයෙන් කණපිට ගැසිය යුතු වෙමු. පළමුව දුෂණයට පක්ෂ රටේ පවතින සංස්කෘතිය වෙනස් කිරීමට කටයුතු කල යුතුය. ලි ක්වාන් යූ මේ සඳහා ක්‍රියා කළේ නිදහස ලබාගත් අළුතමය. අපට මෙය පටන් ගන්නට සිදුවන්නේ රට බංකොලොත් භාවයෙන් නැගිටින අවස්ථාවේදීය.

අඩු පඩි ලබන අකාර්යක්ෂම විශාල රජයේ සේවකයන් පිරිසක් තබාගෙන ඒ අතර දුෂණයේ උල්පත් වූ ආර්ථික කටයුතු සඳහා රාජ්‍යය මැදහත් වීමේ කෝටා ක්‍රම ද තබාගෙන දුෂණය නැති කිරීම අසීරුයි. රාජ්‍ය සේවයේ සුදුස්සාට සුදුසු තැන නොදී ජ්‍යෙෂ්ඨත්වය අනුව උසස්වීම් දී දුෂණය නැති කිරීම අසීරුයි. දුෂිත කොටස් වලට පාර්ලිමේන්තුවට එන්නට ඉඩ තබන මැතිවරණ ක්‍රමයක් තබාගෙන දුෂණය නැති කිරීම අසීරුයි. මහජනතාව අතර දුෂණ විරෝධී ආකල්ප නොමැති සමාජයක එනම් අනුන්ට ඇඟිල්ල දික්කරන තමන්ට ඇඟිල්ල දික් නොවන සමාජයක දුෂණය නැති කිරීම අසීරුයි. අදුෂිත නායකයකුට ඒ අදුෂිත බව නිසාම පමණක් දුෂණය නැති කිරීම අසීරුයි. දුෂණය නැති කිරීම සඳහා මේ ව්‍යුහාත්මක වෙනස්කම් අප සියලු දෙනාම එක්වී කල යුතුයි. මේ සඳහා පනත් සම්මත කිරීම සාධනීය ක්‍රියා මාර්ගයක් වන අතර එය පමණක් ප්‍රමාණවත් නොවේ.

හර්ෂ ගුණසේන

Similar Posts