නොමිලයේ ගොවියාට ලබා දෙන මඩ පොහොර ටික කලට වේලාවට ලබා දෙන ලෙසත් පොහොර කප්පාදුවට පෙර හෝ කාබනික පොහොරවලට යන්නට පෙර පස පිළිබඳව පැහැදිලි පරික්ෂණයක් සිදුකරන ලෙසත් ඉල්ලා සිටින බව පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ඒකබද්ධ ගොවි සංවිධානය ජනාධිපතිවරයාගෙන් හා රජයෙන් ඉල්ලීමක් කරයි.

ඔවුන් මෙම ඉල්ලීම කළේ පොලොන්නරුවේ දී මාධ්‍ය හමුවක් පවත්වමිනි.එහි දී අදහස් දැක්වූ පරාක්‍රම සමුද්‍ර ඒකාබද්ධ ගොවි සංවිධනයේ හා පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා මෙසේ ද කීය.

“මූලික බිම් සැකසීම කරන අවස්ථාවේ දී මඩ පොහොර යොදන්නේ.හැබැයි ඒ වේලාවට මඩ පොහොර යොදා ගන්න බැරි වුණොත් කිරෙන් බාල වෙච්ච ළමයි හැදෙන්නෙ ඒවාගෙ තමයි ගොයම් ගහටත් සිද්ධ වෙන්නේ.දැන් මේ වෙනකොට ජනාධිපතිතුමත් කියනවා.වස විස වැඩියි මේ හැම දෙයක් ම නිසා කාබනික පොහොර භාවිතයට යන්න කියලා.

හැබැයි කාබනික පොහොරවලට යනකොට අපේ අස්වැන්නට යම් කිසි බලපෑමක් වෙනවා.අපි දැන් කරන්නේ වාණිජ වගාවක්.ඒ නිසා පොහොර කප්පාඩු කරන්න ඉස්සරලා පස පරික්ෂා කරන්න ඕන.ඒ කිසිදෙයක් නැතුව කාබනික වගාවට යන්නලු.අර පුරාණ ජන කතාවක් තියෙන්නෙ.මුරුංගා ගහක් නිසා හීනෙන් පෝසත් වෙච්ච මිනිහෙක් හීනෙන් ම ලොරියක් ගේනවා ලොරිය ගන්න තැනක් නැති වෙයි කියලා හීනෙන් නැගිටපු ගමන් මුරුංගා ගහ කපනවා.

තමන් දියුණුවෙන්න හීන දැක්කෙ ඒ මුරුංගා ගහෙන්.හැබෑයි ඒක වෙන්න කලින් කපලා දානවා.ඒ වගේ වැඩක් මේක.අපේ අස්වනුවලට විශාල බලපෑමක් වෙනවා.පොලව විෂ වෙනවා කියලා එක පාරම පොහොර ටික අඩු කලොත් අපේ ජාතික නිෂ්පාදිතයට ලොකු බලපෑමක් වෙනවා.

ඒ නිසා ඉස්සරලා පස්ටික පරික්ෂා කරන්න ක්‍රමයක් හදලා.කාබනික පොහොර ගොවියාට ලැබෙන්න ක්‍රමයක් හදලා ඊට පස්සේ තමයි පොහොර අඩු කරනවාද නවත්වනවාද කියලා තීරණය කරන්න ඕන.හැබැයි දැන් කරන්නෙ අර මුකුත් ම නැතුව ඔහොර අඩු කරනවා.අපි ඒකට විරුද්ධයි.

දැන් හැම එකක් ම ගොවියට බැර කරනවා.පහුගිය කාලේ මාධ්‍යවලින් ගියා ගෙනාපු තරමක් රටින් ගෙනාවෙ විෂ කෑව තරමක් කෑවෙ විෂ .පොහොර ප්‍රමිතියෙන් තොර ඒවා ගෙනාව කිව්වා.මේ පද්ධතියම හදන්නේ නැතුව ගොවියට විතරක් ඇගිල්ල දික් කරන එක වැරදියි.ඒකට අපි විරුධ්ධයි.

අපි ආණ්ඩුවට කියන්නේ නොමිලේ ලබා දෙන පොහොර ටික වේලාවට දෙන්න කියලා ඉල්ල සිටිනවා.පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරය විතරක් නෙමෙයි පොලොන්නරුවෙම මහා වාරි ව්‍යාපාරත් මහවැලි ව්‍යාපාරත් මේ වෙනකොට වී වපුරමින් තිබෙන්නේ.පොහොර නැතුව.” මෙහි දී පොලොන්නරුව ‍තෝපාවැව ගොවි සංවිධානයේ සභාපතිවරයා ද තවත් ගොවීන් පිරිසක් ද අදහස් දැක්වූහ.

පොලොන්නරුව – ඊෂා  මුදියන්සේ

More Stories