හෙළ සිනමාවේ අතළොස්සක් පමණ වන බෞද්ධ චිත්‍රපටය අතර ගෞතම බුද්ධ මාතා සුවිශේෂී නව සිනමාපටයකි. බෞද්ධ සාහිත්‍යයේ අපට හමුවන පරම පූජනීය උතුම් කාන්තා රත්නයක් වන මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ  ජීවන කතා පුවත ඇසුරින් මෙම සිනමාපටය නිෂ්පාදනය වේ. ආත්ම කල්ප ගණනක් පෙරුම්පුරාගෙන විත් බුද්ධත්වයට පත්වන සිදුහත් කුමරුන්ට සිය මව්කුස දුන් මහාමායා දේවිය හැරුණුකොට ඒ දුර්ලභ වාසනාවන්ත ස්ත්‍රි රත්නය වූයේ මහා ප්‍රජාපතී ගෝතමී දේවියයි. කාන්තාවන්ගේ විමුක්තිය වෙනුවෙන් භික්ෂුණි ශාසනය ආරම්භ කිරීමට පුරෝගාමී වූ මහා ප්‍රජාපතී ගෝතමී ගෞතම බුදු සසුනේ බුද්ධ මාතාවයි.

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ අධ්‍යක්ෂණයෙන් සහ තිලංග සුමතිපාල මහතාගේ නිෂ්පාදන දායකත්වයෙන් එළිදකින ගෞතම බුද්ධ මාතා නවතම සිනමාපටය රෑගත කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරේ. බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරමින් රසික හදවත් ඇඳ බැඳ තබා ගැනීමට මෙම ගෞතම බුද්ධ මාතා සිනමාපටය හැකියාව ලැබෙන බව නො අනුමානය.

රසික ජනතාවට නවමු අත්දැකීමක් ලබා දෙන මෙම චිත්‍රපටය රෑගත කිරීමේ කටයුතුවල යෙදී සිටින මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා අනුරාධපුර ෆොරොස්ට් රොක් ගාඩ්න් හෝටලයේදී මෙම චිත්‍රපටය පිළිබඳව පසුගියදා මාධ්‍ය වෙත අදහස් දැක්විණ.

මහා ප්‍රජාපතී ගෝතමීය බෞද්ධ සාහිත්‍යයේ එන ප්‍රධාන චරිතයක් වුවත් එතුමිය පිළිබඳව තොරතුරු සුලබව සමාජගත වී නොමැති බවත් මේ නිසා මෙම චිත්‍රපටය අපගේ ජනතාවට නවමු අත්දැකීමක් වන සිනමා කෘතියක් බවට පත්වන බවත් Òගෞතම බුද්ධ මාතාÓ චිත්‍රපටයේ අධ්‍යක්ෂ මහචාර්ය සුනිල් ආරියරත්න මහතා එහිදී සඳහන් කළේය.

මේ චිත්‍රපටය සඳහා ඉන්දීය රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සමඟින් ප්‍රවීණ දේශීය රංගන ශිල්පීහු රැසක් ද රංගනයෙන් දායක වෙති. මෙහිදි මෙම චිත්‍රපටය පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මෙසේ කීය.

“අද ලොව රාජ මාතාව, රාජ මෙහෙසිය, රාජ කුමරිය යන නාමයන් ස්ත්‍රීන්ට ලැබී තිබෙනවා. නමුත් යම් ස්ත්‍රියකට බුද්ධ මාතා යන නමක් වේ නම් ඒ ලෝකයේ පරම දුර්ලභයි. ආත්ම කල්ප ගණනක් පෙරුම් පුරාගෙන පැමිණ සිදුහත් කුමරුන්ට සිය මව්කුස දුන් මහාමායා දේවිය හැරුණුකොට ඒ දුර්ලභ වාසනාව උදාවුනේ කල්ප ගණනකින් උපදින වාසනාවන්ත ස්ත්‍රී රත්නයකට පමණක්මයි. ගෞතම බුදුන් නිසාම ඒ දුර්ලභ වාසනාව උදා වූයේ මහා ප්‍රජාපතී ගෝතමී දේවියටයි.

ජාතක කතා පන්සිය පනහක් තියෙන අපේ බෞද්ධ සාහිත්‍යයේ, අපේ බෞද්ධ රටේ මේ වන විටත් ජාතක කතා කිහිපයයි සිනමාපට ලෙස තියෙන්න. බෞද්ධ නාමයෙන් ඉතා ළාබාල චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කර තිබ්බත් ඒවා චිත්‍රපට නෙවෙයි.

නමුත් මම එවැනි ළාබාල චිත්‍රපට කරන්න කවදාවත් සූදානම් නෑ. මෙවැනි චිත්‍රපටයක් කරන්න අති විශාල ධනස්කන්ධයක් වැය කළ යුතු වෙනවා. එවැනි විශාල ධනයක් වැය කළ හැකි අයකු වගේම කලාවට ලැදි කෙනෙකුට පමණයි මෙය කළ හැකි වන්නෙ. තිලංග සුමතිපාල මහතා මේ සඳහා තිර රචනය ලියන්න කියනකොට මම ඒකට එකඟ වුණේ නෑ. මොකද හේතුව විශාල ධනයක් මේ සඳහා වැය කළ යුතු නිසා. නමුත් එතුමා ඒ සඳහා ඉදිරිපත් වුණා. එතුමාගේ මව වෙනුවෙන් මේ චිත්‍රපටය කරදෙන ලෙස මගෙන් ඉල්ලීමක් කළා.

අද චිත්‍රපට විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය වෙන්න පටන් ගත්තට අතරමඟ නතර වෙනවා. මොකද ඒ සඳහා විශාල මුදලක් වැය කරන්න සිදුවෙන නිසා. සුළු මුදලකින් කරන්න පටන් ගත්තත් කරගෙන යන්න බැරි වෙනවා. නමුත් මම එහෙම දේවල් කරන්නේ නෑ. මේ සඳහා අපි සකස් කළ ඇස්තමේන්තුගත මුදල විශාල ප්‍රමාණයක් වුණා. මෙම චිත්‍රපටය සඳහා අපට විදේශ නළු නිළියන් ගෙන්වා ගන්න සිදුවුණා. ඒ අපේ රටේ දක්ෂ නළු නිළියන් නොමැතිකම නිසා නෙවෙයි. මෙම චිත්‍රපටයේ සාර්ථකත්වය උදෙසායි. කෙසේ වුවත් තිලංග සුමතිපාල මහතා ඔහුගේ මව වෙනුවෙන් ඒ ධනස්කන්ධය වැය කරන්න පොරොන්දු වූ නිසා මෙම වැඩේ පටන් ගත්තා. අද බයිබලය පදනම් කරගෙන ලෝකය පුරා සිනමා කෘති මොනතරම් ප්‍රමාණයක් බිහි වී තිබෙනවා ද නමුත් බෞද්ධ සාහිත්‍යයේ විශාල වටිනා සිදුවීම් ප්‍රමාණයක් තිබුණත් ඒවා සිනමාවට නැඟිලා නෑ.

මට මේ පිළිබඳව විශාල තොරතුරු ප්‍රමාණයක් ගවේෂණය කරන්න සිදුවුණා. මේක ඇත්තටම අසිරිමත් සිද්ධියක්. මොකද මහාමායා දේවිය එදා සිද්ධාර්ථ කුමාරයාගේ උපතින් දින හතකට පසු මිය යන බව අනාවැකිකරුවන් කියූ නිසා . ඇය මේ බව දන්නවා.

බුදු උපතක් සිදුවන මව්කුසක යළි තව කෙනෙකුට උපදින්න බෑ. ඒ වගේම එම මවට පිරිමියකු සමඟ යළි ජීවත් වෙන්න බෑ. මේ නිසා මහාමායා දේවිය තම නැඟණිය වන ප්‍රජාපතී ගෝතමීයට මේ වගකීම පැවරුවා. ප්‍රජාපතී ගෝතමීය නොසිටියත් සිද්ධාර්ථ කුමාරයා බුදු වෙනවා. නමුත් ඉතා උත්කර්ෂවත් ලෙස එම කාර්යය ඉටු කිරීම සඳහා අවශ්‍ය සියලු කැපකිරීම් කළේ මහා ප්‍රජාපතී ගෝතමීයයි. ඒ අවධිය වන විට මහා භාරතයේ තරුණයන් විශාල ප්‍රමාණයක් විමුක්තිය සොයමින් වනාන්තරවල දුක් වින්දා. මේ බව සුද්ධෝදන රජතුමා දැනගෙන හිටපු නිසා ඔහු තම පුතාට එවැනි දුකක් දෙන්න අකැමැති වූ නිසා සිද්ධාර්ථ කුමරා ගිහිගෙය හැර යාමට විරුද්ධ වුණා. නමුත් ඒ සඳහා අවශ්‍ය ඉඩහසර සකස් කරමින් ඒ සඳහා පිය රජුගේ අවසරය ලබා ගැනීමට මූලිකව මැදිහත් වී කටයුතු කළේ මහා ප්‍රජාපතී ගෝතමීයයි.

ඒ වගේම සමස්ත ලෝකයේම භික්‍ෂුණී ශාසනය පිහිටුවන්නේ ද මහා ප්‍රජාපතී ගෝතමීයයි. එදා එතුමිය ස්ත්‍රී පැවිද්ද ඉල්ලා සිටියත් ඒ සඳහා අවසරය ලබාදීමට බුදුන් වහන්සේ ක්‍රියාකළේ හතර වැනි අවස්ථාවේදියි. ඒ නිසයි අද ලොව භික්ෂුණී ශාසනය පවතින්නෙත් බුද්ධත්වයට පත් වූ දිනම ඇය බුද්ධ මාතාව බවට පත්වුණේ යැයි සුනිල් ආරියරත්න මහතා වැඩිදුරටත් එහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ‘ගෞතම බුද්ධ මාතා’ චිත්‍රපටයේ නිෂ්පාදක තිලංග සුමතිපාල මහතා,

“බුද්ධ චරිතය දෙස බැලීමේදී සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වය ලබන තෙක් ඒසඳහා විශාල කැපවීමක් කළ මාතාව වන්නේ මහා ප්‍රජාපතී ගෝතමීයයි. ඒ උතුම් මාතෘත්වය පිළිබඳව චිත්‍රපටයක් කිරීමට හැකියාවක් ඇති එකම කෙනා මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා නිසා මම එතුමා සමඟ මේ පිළිබඳව කතා කළා. මේ චිත්‍රපටය කිරීමට අති විශාල ධනස්කන්ධයක් වැය කිරීමට සිදුවෙනවා. මම මගේ මව වෙනුවෙන් මේ සඳහා එතුමාව ඉතා අමාරුවෙන් එකඟ කර ගත්තා. මගේ මව වන දිවංගත මිලිනා සුමතිපාල මහත්මිය සිංහල සිනමාවට සම්මානනීය චිත්‍රපට ගොන්නක් තිළිණ කළා. ගඟඅද්දර, දුවට මවක මිස, උප්පලවණ්ණා සහ පත්තිනි ඒ අතරින් ප්‍රධානයි. බුදුන් වහන්සේගේ සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමීය නම් වූ ශ්‍රේෂ්ඨ කාන්තාවගේ චරිතය ඇසුරින් ද චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ ආශාවක් සහ බලාපොරොත්තුවක් මාගේ මව තුළ තිබුණා. ඇගේ එම එම බලාපොරොත්තුව ඉටු කිරීමේ අරමුණු ඇතිව මෙය නිෂ්පාදනය කරනවා .

එතුමා වසර දෙකක පමණ කාලයක් කැපකර තමයි මේ තිර රචනය සකස් කළේ.

එතුමා සමඟ මෙවැනි නිර්මාණයක් බිහි කිරීමට, නිෂ්පාදනය කිරීමට අවස්ථාව ලැබීම ගැන මම අතිශයින් සතුටු වෙනවා. “මේ සඳහා අනුරාධපුරයේ සිට පැමිණ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මෙහි කටයුතු ආරම්භ කළ බවත් මෙම සිනමා පටය ජාති, ආගම් භේදයකින් තොරව සියලු දෙනාට නැරඹිය හැකි හෙළ සිනමාවේ සුවිශේෂි සිනමාපටයක් බවට පත්වන බව ද තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Similar Posts