“අද ඇත්තටම මේ රටේ ඉතාමත් ම දැවෙන ගැට‍ළුවක් අ. විවාදයක් හැටියට පැවැත්වීම ගැන අපි ඒ විවාදය යෝජනා කිරීම ගැන විපක්ෂයට ස්තූතිවන්ත වෙනවා. අද මේ පවතින වර්තමාන තත්වය, බොහොම තාවකාලික තත්වයක්. මේ තත්වයෙන් අපි ගිනි කන වැටෙන්න හොඳ නැහැ. ගිය වසරේ අප්‍රේල් 12 වෙනිදා අපි විදේශ ණය නොගෙවා සිටීම සඳහා අපේ බංකොලොත්භාවය ප්‍රකාශ කළා. ඒ සමගම අපි මේ වන විට ආසන්නයෙන් ඩොලර් බිලියන 4.5 ක පමණ ගෙවිය යුතු ණය ගෙවලා නැහැ. ඒ වගේම අපේ සංචිත ප්‍රමාණෞඅ අද තියෙන්නේ ඩොලර් බිලියන 3 ක පමණ ප්‍රමාණයක්. ඒකෙනුත් 1.5 ක්ම තියෙන්නේ චීනය විසින් අපට ලබා දීපු ණය. ඒ ණය අපිට පාවිච්චි කරන්න බැහැ එක්තරා මට්ටමකට අපේ සංචිත එනකන්. ඒ අනුව අපි අපේ රටේ සංචිත ප්‍රමාණය සෘණ.
පරණ පෝලිම්. පරණ ගැටුම්, පරණ කැරලි ඒ ආකාරයට ම ඇති වෙන්න නියමිතයි. ඒ නිසා මේ තත්ත්වය සම්බන්ධයෙන් ඇස් ගිනි කන වට්ටගන්න ඕන නෑ.

අර්බුදය පොඩ්ඩක් කල් දාපු එක විතරයි වෙලා තියෙන්නේ. ලබන සැප්තැම්බර් මාසෙ දි රජයට සිද්ධ වෙනවා ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සැලසුම ඉදිරිපත් කරන්න. විදේශීය ණය දේශීය ණය. දැනට දේශීය ණය ගෙවාගෙන යනවා. විදේශීය ණය ගෙවන්නේ නෑ. නමුත් විදේශීය ණය වල පොලිය හෝ ගෙවන්න සිද්ධ වෙනවා ඒ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළත් එක්ක 2024 දි. ඒක තමයි මෙතන මූල්‍ය අරමුදලත් එක්ක අපි සම්මත කරගත් ගිවිසුමේ තියෙන්නේ. ඒ නිසා මේ අර්බුදය ගෙවිලා ගිහිල්ලා නෑ.
මහගිරි දඹ තව ඉදිරියට තියෙන්නේ. විශේෂයෙන්ම මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී කාට ද වදින්නේ? වදින්නේ අර සේවක අර්ථ සාධක අරමුදලේ බැංකු තැන්පත්කරුවෝ ඇතුළු පිරිසකට ඒ පිරිස අති විශාල පිරිසක් සේවක අර්ථ සාධක අරමුදල් වල කවුද ඉන්නේ? මේ වැඩ කරන ජනතාව, විශේෂයෙන්ම මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දසලක්ෂයකට අධික ප්‍රමාණයක් මේ රටේ තියෙනවා. ඒ වගේම හතළිස් ලක්ෂයකට වැඩි සේවක පිරිසක් මේ වැඩ කරනවා. මේ රටේ කෘෂිකර්මාන්තයේ, දළ දේශීය නිෂ්පාදනයට දායකත්වය සියයට හතයි. හැබැයි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල දායකත්වය 52% යි. මේ තුළ තමයි මේ අපේ ආර්ථිකය රැඳී පැවතිලා තිබෙන්නේ.

එතකොට මේ කර්මාන්තකරුවෝ, මේ වැඩ කරන ජනතාව, මේ සල්ලි තැන්පත්කරුවෝ, බැංකුවල අහන ප්‍රශ්නයක් තියෙනවා. රට බංකොලොත්. නම් අපේ මොකක්ද වගකීම? අපි මොනවා කලාටද? රට බංකොලොත් වුණේ? අපි එදිනෙදා වැඩ කළා. දහඩිය මහන්සිය හෙලුවා. දරුවෝ පාසල් ඇරියා. ගොවිතැන් බත් කළා. කර්මාන්ත කළා. යුක්ති සහගත විදිහට හරි විදිහට ආදායම් හොයා ගත්තා. අපේ සම්බන්ධයක් නැහැ රට බංකොලොත් වෙන්න. හැබැයි අපට ඒකට අද වන්දි ගෙවන්න වෙලා තියෙනවා. මේ වෙනකොට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වැසී ගිහින් තියෙනවා. බලන්න විදුලි බිල දිහා. බලන්න තෙල් පරිභෝජනය දිහා. ඒ හැම තැනකම ඒක පේන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම රැකියා හය ලක්ෂයක් විතර විශේෂයෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අද බිඳ වැටිලා එළියට වැටිලා තියෙනවා. ඒ වගේම වෘත්තීය මට්ටමේ පිරිස් දහස් ගානින් රට හැර යමින් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අර්බුදය දෙදහස් හතළිස් අටේදී රට සංවර්ධිත රටක් වෙනවාද? මූල්‍ය අරමුදල කියන විදියට 2032දී ද අපි ගැලවෙන්නේ කියන එක තරම් කාලයක් අපිට නැහැ.තව අවුරුදු තුනක් යන මේ රට මානව කාන්තාරයක් බවට පත්වෙනවා. අපි ඉතා ඉක්මණින් විසඳුමක් ඉදිරිපත් කළේ නැත්නම්.

අද පොලී අනුපාතය ගැන කතා කරනවා. පොලී අනුපාතය ඇති වුණේ ඇයි? ට් රිලියන තුනක්. බිලියන තුන්දාහක් ගරු අජිත් නිවාඩ් කබ්රාල් අච්චු ගැහුවා. ඒ අච්චු ගහපු සල්ලි ආපසු ගන්න සිද්ධ වුණා මහ බැංකුවට තමන්ගේ භාණ්ඩාගාර බිල්පත් වෙළදපොලේ විකුණලා ඒ සල්ලි ටික ආපහු වෙළඳපොලෙන් බැංකුවට ගන්න. සීයට තිස් හතට ගත්තා අවසානයේ මේ අන්තිම එක ගියේ සීයට විසි පහයි දශම හතට ඒ නිසා අද මොකද වෙලා තියෙන්නේ මේ ක්‍රියාවලියට කිසිම සම්බන්ධයක් නැති අහිංසක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාට 25% – 30% පොලී ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට උද්ධමනය වැඩි වුණා. සල්ලි අච්චු ගැහීම නිසා. ඒ එක්කම මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව, ශක්‍යතාවය අඩු වුණා. ඒ නිසා භාණ්ඩ නිපදවපු අය, සේවා සපයපු අයට, ඒවා විකුණගන්න නොහැකි වුණා. ඒ පැත්තෙනුත් ඒගොල්ලන්ගේ ආදායම් අහිමි වෙලා අද අලුත් දුගී පරපුරක් ඇතිවෙලා තියෙනවා. ඔබතුමා දන්නවා සමෘද්ධි ක්‍රියාවලියේ ඉන්න කෙනෙක් හැටියට මේ අලුත් දුගී පරපුර ආසන්නයෙන් ලක්ෂ දොළහක් පමණ පවුල්. අලුත් දුගී පන්තියක් ඇතිවෙලා තියෙනවා. මිලදී ගැනීමේ හැකියාව අඩුවෙලා තියෙනවා. ඉතින් මෙතන ඉඳන් එදා කයිවාරු ගැහුවා. සල්ලි අච්චු ගැහුවට ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. ඒකට කිව්වා අලුත් තියෙන එකක් කියලා. මොඩර්න් මොනිටරි තියරි කිව්වා. දැන් අද ඒවායේ වන්දි ගෙවන්න. මේ රටේ අහිංසක දුගී දුප්පත් කර්මාන්ත වල නියැලිච්ච, රටට බරක් නොවිච්ච මිනිස්සුන්ට, අද සිද්ධ තියෙනවා. ඊළඟට බලශක්ති ආයතන කඩා වැටුණා. ඒකට අපේ ආණ්ඩුත් වගකියන්න ඕනේ.

බලශක්ති ආයතන කඩා වැටීමේ ප්‍රතිඵලය අද ජනතාවට ගිහින් තියෙනවා. අද ලෝක වෙළඳපොලේ බලශක්ති මිල ඩොලර් එකසිය විසි අටට තෙල් බැරලය තියෙනකොට තිබිච්ච වැඩි කරපු ගාන එහෙම්මමයි අද ඩොලර් හැත්තෑවට තෙල් බැරලය ආවත්. ගල් අඟුරු ඩොලර් තුන්සීයට තියෙනකොට ටොන් එක ඒක එකසිය පනහට ආවත් ගල් අඟුරු මිල අඩුවෙන්නේ නැහැ. විදුලි බිල අඩු වෙන්නේ නැහැ තෙල් මිල අඩුවෙන්නේ නැහැ. සූත්‍රයක් කිව්වට ඒ මිල සූත්‍රයට නෙවෙයි වෙන්නේ. අදටත් මේ රටේ ඒ තෙල් මිල අන්තර්ජාතික ආකාරයට තරගකාරී මට්ටමක නැහැ. විදුලි බිල තරගකාරී මට්ටමක නැහැ. එහි ප්‍රතිඵලයක් හැටියට මොකද වෙලා තියෙන්නේ? කර්මාන්ත වලට සේවාවලට මේ බලපෑම් එල්ල වෙලා තියෙනවා.

ටෙලිකොම් ආයතනයත් අර පසුගියදා සේවයෙන් ඉවත් කරපු මේ මන්ත්‍රී යෝජනාවකින් ජනක රත්නායකට අනුව, ලක්ෂ හතරකට අධික පිරිසකගේ විදුලි බිල් බිංදුවයි. එක කාලයක් තිස්සේ විදුලිබල මණ්ඩලයේ තියෙන දෙයක්. ඒකත් මම කියන්න ඕනේ. ඒ වගේම රැහැන් පද්ධති වල තිබිච්ච තුන් ලක්ෂ පනස් දාහක් දුරකථන අද අද පාවිච්චි කරන්නෑ. මොකද මේ වෙලා තියෙන්නේ? මිනිස්සු එක්කෝ කර්මාන්ත කඩා වැටිලා. නැත්නම් පවුල් ලක්ෂ හතරක් රටින් ගිහිල්ලා. එතකොට මේ ආකාරයට රට නාය යමින් තියෙනවා යටින්. කර්මාන්ත කඩා වැටෙමින් තියෙනවා. මේ ඉන්ධන බිල, මේ විදුලි බිල, මේ ජල බිල තවදුරටත් මේ ජනතාවට දරාගන්න බෑ. ඒ අය ඒකට වගකියන්න ඕන්නෑ. ඒවායේ පාලකයින්ගේ ප්‍රශ්නයක්. ඊළඟට අපි ආනයන සීමා පැනෙව්වා. භාණ්ඩ එක්දාස් දෙසීයකට. දැන් ඒක ක්‍රමයෙන් අඩු කරගෙන යනවා. නමුත් මේ ආනයන සීමා ඒ ආනයන සීමා පනවද්දී අපි දන්නවා පාරිභෝගික භාණ්ඩ තියෙනවා. ඒ වගේම ආයෝජන භාණ්ඩ තියෙනවා.

අතරමැදි භාණ්ඩ තියෙනවා. මේවා ගැන කිසිම සැලකිල්ලකින් තොරව තමයි මේ ආනයන සීමා පැනෙව්වේ. ඒ නිසාම වුණේ මොකක්ද? කර්මාන්ත වලට අවශ්‍ය කරන දෑ අපට අහිමි වෙලා ගිහිල්ලා කර්මාන්ත කඩා වැටීම සිද්ධ වුණා. මොකද ආයෝජන භාණ්ඩ වලටත් ගැහුවා. අතරමැදි භාණ්ඩ වලටත් ගැහුවා. ඒකෙන් වුණේ මොකක්ද කර්මාන්ත පද්ධතිය, දේශීය කර්මාන්ත පද්ධතිය ඇඳ වැටුණා. අවසාන වශයෙන් බැංකු මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවෝ වගකිවයුතු නෑ. අද රාජ්‍ය බැංකුවල අක්‍රීය ණය ප්‍රතිශතය මේ අද සීයට දාහතරට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම රාජ් ය බැංකුවල තිබිච්ච ඒ සම්පත් වලින් සීයට පනස් හතක් ණය දීලා තියෙන්නේ ආණ්ඩුවට. අද ආණ්ඩුවට ඒ ණය ආපහු ගෙවන්න බෑ. අක්‍රීය ණය දීලා තියෙන්නේ දේශපාලන හිතවතුන්ට ඒක ගෙවන්න බෑ. හැබැයි ඒකේ වන්දිය කාටද ගෙවන්න වෙලා තියෙන්නේ? දස ලක්ෂයක් පමණ වෙච්ච මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් තමයි ඒකෙ වන්දිය ගෙවන්න වෙලා තියෙන්නේ. අපි පිළිගන්නවා කෝවිඩ් වෙලාවේ ආර්ථික කඩා වැටීම වෙලාවේ විවිධ සහන දුන්නා.

නමුත් තවදුරටත් මේ අනුන්ගේ පව් ගෙවන්නට අද මේ ව්‍යාපාරික ප්‍රජාවට සිදුවෙලා තියෙනවා. ඒ නිසා අපි ප්‍රකාශ කරන්න ඕනේ මෙතන කර්මාන්ත ඇමතිතුමා හිටියට අර කිව්වා වගේ එතුමාම මේවට සම්පූර්ණයෙන් වගකියන්න ඕන නෑ. මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ඇතුළු මේ සමස්ත පද්ධතිය තීරණය කරන්න ඕනේ රට ඉදිරියට යන්න නම් නිෂ්පාදනය වැඩි කළ යුතුමයි. ලෝක බැංකුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් කීයක් හරි අරගෙන ජනතාවට බෙදා හැරීම තුලින් රට ඉදිරියට ගෙනියන්න බෑ, රටේ නිෂ්පාදනය වැඩි කළ යුතුයි. රටේ නිෂ්පාදනය වැඩි කිරීමට තියෙන එකම මග මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට අවශ් ය තාක්ෂණය, ප් රාග්ධනය හා වෙළඳපොළ සකස් කිරීම. ඒ වගේම මේ තියෙන ඒවා රැකගන්න ඕනේ මුලින්. ඊළඟට නවෝත්පාදනය මත පදනම් වෙච්ච නව කර්මාන්ත ඇති කිරීම කරා යොමු වෙන්න ඕනේ.

එහෙම නැතුව මේ අර්බුදය අපට ජයගන්න බැරි වුණොත්, තව අවුරුදු දහයක්, පහළොවක්, විස්සක් මේ රට මේ විදිහට ඇදි ඇදී ගියොත් මෙතන රටක් ඉතුරු වෙන්නෑ. අපි සියලු දෙනාම මේ රට කියන්නේ ගොඩනැගිලිවත්, ගහකොළවත්, වැව් තාවුලුවත් නෙමෙයි. මේ රටේ ජීවත්වෙන මිනිස්සු. ඒ උගත් මිනිස්සු, ඒ ව්‍යවසාය දායකත්වය ඒ පිරිස මේ රටෙන් ගියාට පස්සේ, මේ රට මානව කාන්තාරයක් වුණාට පස්සේ, මේ රට කවුරු පාලනය කළත් මේ රට තවත් අසාර්ථක රටක් හැටියට මේ ලෝකෙන් කොන් වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා, වහාම මේ ගැන අවධානය යොමු කරලා, මේ ජන කණ්ඩායමට මේ සුළු හා මධ්‍ය පරිමාණ කණ්ඩායම් අපි ආරම්භ කළා Trust Sri Lanka කියලා වැඩපිළිවෙලක් නොමිලේ ඒ අයට අවශ්‍ය කරන නීති සහය බැංකුවල සහය සහ අනෙකුත් සමාජයීය සහයන් ලබා දෙන්න. රජයේ සියලු ආයතන එකතු කරලා ඒ සහයෝගය ඒ අයට ලබා දීලා, මේ කර්මාන්ත මෙතනින් ගලවා ගැනීම සඳහා අපි සාමූහිකව ක්‍රියා කළ යුතුයි.

පාඨලී චම්පික රණවක

Similar Posts