යුද සමයේ අලිමංකඩ යුද හමුදා කදවුරට එල්ලවීමට ගිය දරුණු බෝම්බ ප්‍රහාරය සිය ජීවිතය පූජාකරමින් වළක්වා සහෝදර සෙබළුන් 1500 කට ආසන්න ප්‍රමාණයක ජීවිත බේරාදුන් හසලක වීර ගාමිණී සෙබලා දැයෙන් සමුගෙන ජූලි 14 වැනි දිනට වසර 29ක් සපිරේ.

1991 ජුලි 14 වැනිදා වනවිට අලිමංකඩට තිබූ සියලු සැපයුම් මාර්ග අවහිර කරමින් ප්‍රදේශයේ බලය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ගෙන තිබිණ. ගුවනින් පවා යා නොහැකි තත්වයකුයි පැවතියේ. මරාගෙන-මැරෙන ත්‍රස්තවාදීන්ගේ බුල්ඩෝසරයක් පෙරටු කරගත් ත්‍රස්තවාදීන් කණ්ඩායමක් කඳවුර කරා පැමිණෙමින් සිටියේය. එම අවස්ථාවේ කිසිවෙකුගේ අනුදැනුමකින් තොරව සිය සහෝදර සෙබළුන්ගේ ජිවිත බේරා ගැනීමේ උත්තම අරමුණින් ගාමිණි කුලරත්න විරුවා බුල්ඩෝසරයට පැන එය පුපුරුවාලමින් සිය ජිවිතය ද පූජා කළේය.

හසලක ගාමිණී කුලරත්න රණවිරුවාගේ මෙම වීර ක්‍රියාවට උපහාර වශයෙන් මහජන නියෝජිතයින් තම මාසික වැටුප ද රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ නිලධාරින් හා මහත්ම මහත්මීන් තම දෛනික වැටුප ද රණවිරු අරමුදලට උපරිම වශයෙන් පරිත්‍යාග කරමින් තම උපහාරය දැක්‌වූ ආකාරය අපට අද වගේ මතකය.

හසලක විරුවාගේ මෙම වීරක්‍රියාව අගයනු වස් කෝප්‍රල් තනතුරට උසස් කෙරුණු අතර, යුද හමුදා නිලධාරියෙකුට පිරිනැමෙන උසස්ම සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයෙන් ද පුදනු ලැබීය.

තම සහෝදර සෙබළුන් විශාල පිරිසකගේ ජීවිත ආරක්‍ෂා කර ගැනීම සඳහාත් තම මවු බිමේ ස්‌වෛරීභාවය වෙනුවෙන් තම ජීවිතය පූජා කළ අවස්‌ථා ලෝක හමුදා ඉතිහාසයේ නැති තරම්ය.

Similar Posts