ජනමාධ්‍ය කරුවකු, සමාජ ගවේෂකයකු, ස්වාධීන පර්යේෂකයකු මෙන්ම නිර්මාණාත්මක ලේඛකයකු වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටින තිලක් සේනාසිංහ මහතා වැඩි දෙනෙකු අගය කරන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරා ජනතාව පෙළන වසංගතයක් වන මිථ්‍යා විශ්වාස පිළිබඳ පර්යේෂණ කරමින් ලියා ඇති අගනා ග්රන්ථ සමුහය නිසා ය. ‘ජනකාන්ත මිථ්‍යා මත’ ‘අවතාර ලුහු බැඳ’ ‘සිංහල අලුත් අවුරුද්දේ මයාව සහ යථාර්ථය’ යනු ඉන් ග්රන්ථ නාම කිහිපයකි.
තිලක් සේනාසිංහ යනු නිර්මාණාත්මක සාහිත්‍යය තුළ ද සිය සක්‍රිය සම්ප්රදාය හා කුශලතාව මැනවින් ප්‍රදර්ශනය කර ඇති ලේඛකයෙකි. මෙයට කලින් අග්නි චාමර, සුදු පරෙවි මල්, සසල විල යන නවකතා ලියා පළ කොට ඇති ඔහුගේ අලුත් නවකතාව අන්තර්ගතය විවෘතව ම ප්‍රකාශ වන පරිදි “ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව” යනුවෙන් නම් කොට ඇත.
ගම්බද ජීවිතය, යොවුන් ප්‍රේමය, එෛතිහාසික විශේෂයන්ම මහනුවර රාජ්‍ය සමය පසුබිම් කරගත් නවකතා චක්‍රයට මැදිවී හෙම්බත්ව සිටින පාඨකයන්ට ඒවාට වෙනත් අත්දැකීමක්, ආශ්වාදයක් ලබා දෙන ආකාරයෙන් තිලක් සේනාසිංහයන් ගේ අලුත් නවකතාව ලියැවී ඇත්තේ ය.
වර්තමානයේ දේශපාලනය යනු පාලකයන් උදරය මුඛය (උදර මුඛ යනුවෙන් හිස නැති කළගෙඩියක් වැනි උදරයෙහි විශාල මුඛයක් සහිත පුද්ගලයෙකු ඉන්දියානු පුරාණ කැටයම් අතර දක්නට ලැබේ). පුරවා ගනු ලබන ව්‍යාපාරයක් වී ඇති ආකාරයත් ඒ සඳහා දේශපාලනඥයන් විසින් හදා වඩා නඩත්තු කරන මුග්ධ මැර හමුදාවන් එහෙන් මෙහෙන් මතුවෙතත් සොඳුරු ප්‍රතිරූපය සම්පූර්ණ ලෙස විනාශ කර නොගත් ගම්මානයක් පසුබිම් කරගනිමින් මෙම නවකතාව විකාශනය වේ.
යන්නෙහි එන ‘නව’ යන පදය මෙම කෘතියෙහි දී සාකල්‍යයෙන් ම පරිපූර්ණ අර්ථයක් ගන්නේ මෙහි විකාශය වන ප්‍රේම කතාව පාඨකයාට අපූර්ව අත්දැකීමක් වන හෙයිනි. එම ප්‍රේමය ගොඩනැගෙන්නේ නගරයේ සිට ඉහත කී ගමට සම්ප්‍රාප්ත වන ජිනප්‍රිය නම් රජයේ විශ්‍රාමික පරිපාලන නිලධාරියකුත් ඔහු තම දිවා ආහාර වේල පිළියෙළ කරවා ගන්නා ගැමි ගෙදරක පොඩ්ඩි නම් කාන්තාවකුත් අතර ය.
ජිනප්‍රිය ගේ ඕස්ටේ්රලියාවේ පදිංචිව සිටින වැඩිමහල් දියණියත් බෑණාත් ජිනප්‍රිය යුවළට හා බාල දියණියට ද තමන් වෙත එන ලෙස ඇවිටිලි කරති. බිරිඳත් බාල දියණියත් මේ අදහසට මහත් උනන්දුවකින් සූදානම් වුවත් ජිනප්රියට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ ම ඉඳිමින් ඈත පළාතකට ගොස් නිස්කාන්සුවේ ජීවත් වන්නට ය. අවසානයේ බිරිඳ හා දියණියගේත් එමෙන්ම ජිනප්රියගේත් අපේක්ෂා ඉටුවෙයි. මව හා දියණිය ඕස්ටේ්රලියාවේ පදිංචියට යන අතර ජිනප්රියට වියලි කලාපයේ පිටිසර ගමක ජීවත් වීමට අවස්ථාව උදා වෙයි.
ජිනප්රියත් ඔහුට දිවා ආහාර සපයා දෙන, ගම්මුන් ‘පොඩ්ඩී’ යනුවෙන් හඳුන්වනු ලබන මැදිවියෙහි සිටින කාන්තාවක අතර ඇති වන අපූර්ව සම්බන්ධය වටා ලෝකයාට නොපෙනී ගල්පර අතරින් හැපී ගලා යන සීතල දියදහරක් සේ හැලහැප්පීමකින් තොරව එය අතිශය තාත්වික හා රමණීය ලෙස නිරූපණය කිරීමට කතුවරයා දක්වා ඇත්තේ වෙසෙසින් අගය කළ යුතු කුශලතාවයකි.
මේ නවකතාවේ ප්‍රධාන චරිත ද්ත්වය වන හැටවිය සපුරා සිටින ජිනප්රියගේත් මැදිවියෙහි කාන්තාවක වන පොඩ්ඩිගේත් ගති සොබාවත්, රුචි අරුචිකම්, බලාපොරොත්තු හා අපේක්ෂාවන් නිරූපණය කර ඇත්තේ ස්වභාවිකත්වයට සාකල්‍යයන් ම එකඟ වන පරිද්දෙනි. මේ නවකතාව යථාර්ථවාදී නවකතාවක් ලෙස හැඳින්විය හැකිය.
අයදතන ලේඛකයන් අධිතාත්වික, පශ්චාත් නූතන ඉන්ද්‍රජාලික යන ආඛ්‍යාන ශෛලීන් වෙත ඇදී යතත් යථාර්ථවාදී කතා කලාවේ කලාත්මක ආඛ්‍යාන මෙම නවකතාවෙන් සනාථ කෙරතියි සිතේ. මහන්තත්වයට ගැලපෙන අයුරින් මිල අධික විසිතුරු ඇඳුමින් හා අලංකාර ආභරණවලින් විරාජමාන කුළවමියක වෙතින් පළවන අලංකාරයට වඩා නිහතමානී සරල යුවතියක් අහිංසක පෙනුමෙන් පළකරන සුන්දරත්වය මෙන් මෙම නවකතාවේ බස් වහර සිත්ගන්නා සුළු බවකින් යුතුය.
සමහරවිට ලේඛකයාගේ ගාම්භීර පණ්ඩිත්වය ප්‍රදර්ශනය කිරීමට යාම ලේඛන ක්ෂේත්‍රයත් ආරක්ෂා කිරීම නිසා අර්ථය වටහා ගැනීම දුෂ්කර වන භාෂාමය ව්‍යාකූලතා නිර්මාණාත්මක ලේඛනවල ද දක්නට ලැබේ. එහෙත්, මෙම නවකතාවේ භාවිත සරල භාෂාවත් කථා සන්දර්භයත් නිසා එය එක හුස්මට කියවා රසවිඳිය හැකි නවකතාවක් බව සඳහන් කළ හැකිය.
මෙම නවකතාවේ ජිනප්‍රිය සහ පොඩ්ඩි අතර සිදුවන සංවාද වල ස්වභාවය ගැන ද සඳහන් කළ යුතු යයි සිතමි. වෙනත් බොහෝ නවකතාවල පාත්‍ර වර්ගයා දිගු හෑල්ලක් පවසන්නේ ගොතන දෙයක් ලෙසිනි. කෙල්ලක හා කොල්ලෙකු අතර කෙරෙන තොරතෝංචියක් නැති ‘කච කච’ වලින් පිරීගත් නවකතා අද බහුලව දක්නට ලැබෙයි. එහෙත්, මෙම කතාවේ කතුවරයා අවස්ථා, සිද්ධි හා සංවාද නිර්මාණයේදී දක්වන්නේ පරිණත ලේඛන කුශලතාවකි. පහත දැක්වෙන්නේ ඒ සඳහා එක් නිදසුනකි.
“ඒත්, මම දැන් අවුරුදු හැටක වයසක මනුස්සයෙක්; ඔයාගේ වයස බලන කොට අපි දෙන්න තාත්තයි දුවයි වගේ; ඉතින් එහෙම දෙන්නෙක් වටා කතා පතුරවන්න තරම් ඔය මිනිස්සු පිරිහිලා ද?” මම නිකමට මෙන් ඇගෙන් ඇසීමි.
“එතකොට මහත්තයා කියන්නෙ දැන් මගේ වයස කීයක් කියල ද?” පොඩ්ඩි ද එසැණින් ඇසුවා ය.
“අවුරුදු තිහක් තිස්පහක් විතර” ඇගේ බාහිර පෙනුම මුල් කොට ගෙන එතරම් වයස්ගත බවක් කිව නොහැකි නිසා මම අවංකවම කීවෙමි.
“ඒක මාර කතාවක් නේ මහත්තයා” දුරකථනයෙන් මතු වූ පොඩ්ඩිගේ සිනා හඬ මගේ සවන් පත්ලටම වදින්නාක් මෙන් මට හැඟිණ. “එතකොට දුව හම්බ වුණේ මට අවුරුදු දහයෙදි ද?” එසේ කී පොඩ්ඩි කටහඬ බාලකොට “දැන් මට හතලිස් හතරයි; ලබන්නේ හතලිස් පහ” යනුවෙන් කීවාය.
“එහෙම බවක් නම් කොහොමවත් පෙන්නේ නැහැ. ඒ උනාට ඉතින් දැන් මට හැටක් නේ. හතලිස් පහයි හැටයි කියන්නේ ලොකු වයස් පරතරයක් නේ බැලූ බැල්මට වුණත්; ඒකවත් ඔය මිනිස්සු සලකන්නේ නැද්ද?” පොඩ්ඩි සමඟ පවත්වන සංවාදය අතර මඟ බිඳවැටීමට ඉඩ දිය නොහැකි බැවින් මම කීවෙමි.
“ඒත් මහත්තයා දන්නවාද මගේ නැති වුණු මනුස්සයත් මට වඩා අවුරුදු පහලොවක් වැඩිමල් බව; ඔය වකුගඩු ලෙඩේ හැදිලා ඔත්පල වෙනකම් අපි අතරේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ මහත්තයා’‘
මෙම සංවාදය හෙමින් හෙමින් ව්‍යංගයෙන් අඟවන්නේ කුමක්ද? මෙලෙස සංවාදයේ යෙදෙන මිනිසාගේ හා ගැහැනියගේ චර්යාවන් ඉදිරි කාලයේ කුමන ස්වරූපයක් ගනු ඇතිද යන කරුණ මේ දෙබස් ඛණ්ඩය තුළ ගැබ්වෙන බව ඇතැම් විට අත්දැකීම් බහුල අප පාඨකයන්ට වඩාත් හොඳින් අවබෝධ වෙනු ඇතැයි සිතමි. ගහ දන්නා අයට කොළ කඩා පාන්නේ කුමකටද ?
අප ලේඛක තිලක් සේනාසිංහයන් ගේ අතින් අනාගතයේදී ලියැවෙන තවත් සාර්ථක නවකතා රැසක් කියැවීමට සිංහල පාඨක සමාජය වාසනාවන්තයන් වනු ඇතැයි මම සිතමි. මෙම කෘතිය රාජගිරියේ ග්රැෆිකේයා ප්රකාශනයකි.
ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ