දිල්ලිය යනු ලොව දෙවන විශාලම ජනගහනය සහිත නගරයයි. ඉන්දියාවේ මිලියන 2.5 ක් දෙනා මියගොස් ඇත්තේ පරිසර දූෂණය හා සම්බන්ධ රෝගී තත්ත්ව නිසා බව 2015 දී සිදුකළ අධ්‍යයනයකින් හෙළිදරව් විය.

නගර අවකාශයෙහි පිරීගිය දුම්රොටු වලාවන් නිසා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්‌ෂා කිරීම සඳහා හදිසි ආපදා තත්ත්වයක්‌ ප්‍රකාශයට පත්කිරීමට කරුණු යෙදී තිබිණ.

අධික ලෙස ජනාකීර්ණ වූ නවදිල්ලි ජනතාවට තවදුරටත් ශ්වසන අපහසුව මඟහරවා ගැනීම සඳහා තම ජටාව හෝ උර ලේන්සුව මුහුණට මුවා කර තබා ගැනීමට සිදුව ඇත.

කාර්මික කරණයේදී සිදු වන්නාවූ විමෝචනයන් නිසාත්, ඉවතලන මෝටර් රථ කොටස්‌, මහාමාර්ග දුම්රොටු සහ ජීව විද්‍යාත්මක ස්‌කන්ධයන්ගේ දහනය නිසාත් අස්‌වනු හෝ ගොවිබිම් ගිනි තැබීම නිසාත් ජනතාවට ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳිය යුතු බවත්, දූෂිත ප්‍රදේශවලින් ඉවත් වී දොරවල් සහ ජනෙල් වසා තිබිය යුතු බවත් සෞඛ්‍ය අංශ  නිවේදන නිකුත් කරමින් පවසා තිබේ.

දිල්ලියේ පාසල් නැවත විවෘත කිරීමට ඉකුත් බදාදා බලධාරීන් පියවර ගත්තේ තත්ත්වය තරමක් යහපත් අතට හැරෙමින් තිබූ බැවිනි. වායු දූෂණය ඝන මීටරයකට මයික්‍රො ග්‍රෑම් 400 ක් තරම් බරපතළ අන්තරාදායක මට්ටමක සිට මයික්‍රොග්‍රෑම් 175 පමණ තෙක් පහත වැටුනද එයද සෞඛ්‍යාරක්ෂිත නොවන තත්ත්වයකි. ඉකුත් 3 – 4 දිනවල පැය 24 ක් ආවරණය වන පරිදි කළ මැන බැලීමෙන් වායු දූෂණය වැඩිම ප්‍රාන්තය ලෙස හර්යානා ප්‍රාන්තය හඳුනා ගැනිණි. ජින්ද් නගරයේ එම මට්ටම ඝන මීටරයට මයික්‍රොග්‍රෑම් 448 ක් විය. දිල්ලියේ එය 407 කි.

ලබන 18 වැනිදා පාර්ලිමේන්තුව යළි රැස්වූ විට වායු දූෂණය පිළිබඳ නව පනතක් රැගෙන ඒමට ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂ මන්ත්‍රීවරයකු වන ගවුරව් ගොගොයි සූදානමින් සිටී. දැනට ක්‍රියාත්මක පනත 1981 දී සම්මත කරන ලද්දකි. එය පදනම්ව ඇත්තේ එක්සත් ජනපදයේ පිරිසිදු වායු පනත (1963) මතය.

මධ්‍යම රජයේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය හර්ෂ් වර්ධන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘රාත්‍රී අන්ධභාවය සහ සෞඛ්‍යයට සිදුවන දූෂණය හා සම්බන්ධ වෙනත් හානිවලින් ආරක්ෂා වීම සඳහා කැරට් අනුභව කරන ලෙසයි.

මේ අතර පරිසර අමාත්‍ය ප්‍රකාශ් ජාවඩෙකර් යෝජනා කළේ ඔබ ‘ඔබේ දවස සංගීතයෙන් ආරම්භ කළ යුතු’ බවයි.

‘දූෂණය පිළිබඳ අපගේ දුක්ඛිත තත්වය ගැන ඔබ බිහිරි කන් යොමු කිරීමට හේතුව එයද ?’එක් ට්විටර් පරිශීලකයෙක් ප්‍රතිචාර දක්වා සිටියා. ‘අපට ඇහුම්කන් දීමට නොහැකි තරමට කාර්යබහුල සංගීතයක් ඇසෙන බව පෙනේ’ ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කළා.

ඉදිරි සතිය තුළ ලැබෙන වැසි මගින් මේ තත්ත්වය පහව යනු ඇතැයි ඉන්දියානුවන් බලාපොරොත්තු වන නමුත් මේ වන තෙක් සිදු වුණේ නැහැ. මේ තත්ත්වය තුළ දිල්ලිය ප‍්‍රමුඛ නගර රැසක ආර්ථික හා සමාන්‍යය කටයුතු බිද වැටී තිබෙනවා.

Similar Posts