ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිඳකට වැටි මිය ගිය  සුජිත් විල්සන් දෙහැවිරිදි  දරුවාගේ  අවසන්  කටයුතු අද (29) දින සිදු කර ඇති බව ඉන්දීය මාධ්‍ය  වාර්තා සඳහන් කරයි.

තමිල්නාඩු ආදායම් පරිපාලන කොමසාරිස් ජේ. රාධක්‍රිෂ්ණන් මහතා අද(29) අලුයම මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ දරුවා නිරුප්‍රදිතව ගොඩට ගැනීම සඳහා ගනු ලැබූ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වු බවත්  දරුවා වැටී සිටි ළිඳෙන් ඊයේ රාත්‍රී දුර්ගන්ධය දැනුනු බවත් එයින්පසු දරුවා මියගොස් ඇති බව තීරණය කළ බවත් පැවසු බව ඉන්දීය මාධ්‍ය පවසයි.

දරුවාගේ සිරුර බෙහෙවින් දිරාපත්වූ තත්ත්වයක පවතින බවත් ඡායාරූප පසුව නිකුත් කරන බවත් ඔහු පවසයි.  ළිඳෙන් ගොඩගත් දරුවාගේ සිරුර තමිල්නාඩුහි මනප්පාරෙයි රජයේ රෝහලට ගෙනගොස් ඇත.

පසුගිය සිකුරාදා(25) පස්වරුවේ එම ළිඳ පිහිටි ස්ථානය ආසන්නයේ තවත් දරුවන් කිහිපදෙනකු සමග ක්‍රීඩා කරමින් සිටි සුජිත් දරුවා ළිඳට වැටී තිබූණි. තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුචිරප්පල්ලි ආසන්නයේ පිහිටි මෙම පටු ළිඳේ අඩි 100ක් පමණ ගැඹුරේ සුජිත් විල්සන් නැමැති දරුවා සිරවී සිටියේ ය. ඉන්දියාවේ 300ක පමණ මුදවාගැනීමේ කණ්ඩායමක් පැය 80කට වැඩි කාලයක් තිස්සේ දරුවා ගලවා ගැනීම සඳහා ප්‍රයත්න දැරූහ. එම ළිඳට සමාන්තරව තවත් ළිඳක් හාරා දරුවා බේරා ගැනීමට කටයුතු කරමින් සිටි අතර ඊයේ  (28) රාත්‍රී නවය පමණ වනවිට සමාන්තර සිදුරේ අඩි 63ක් පමණ යටට හාරා තිබිණි.නමුත් දරුවා මිය ගිය බව අවබෝධ වීමෙන් පසු ඒම කටයුතු නවතා දමා ඇත.

More Stories