ඇදිරි නීතිය ලිහිල් කර ඇති යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් ඉදිරියේදී අවදානම් කලාපයක් ලෙස හඳූනාගනු ලැබුවහොත් එම ප්‍රදේශයන්ට යළි ඇදිරි නීතිය පැනවීමට ඉඩ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත්නම් කවරෙකුට හෝ ඊට ඇතුළු වීමට හෝ පිටවීමට අවසර නොමැති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර, ඇදිරි නීතිය ඉවත් කළ ප්රදේශවලද ප්‍රධාන මාර්ග භාවිත කළ යුත්තේ රැකියා සඳහා යාම් ඒම් ඇතුළු අත්‍යාවශ්‍ය කාර්යයන් උදෙසා පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරන්නේ.
දිස්ත්‍රික් අතර ගමනාගමනයද, රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවා පමණක් සීමා කර තිබෙනවා.
ඇදිරි නීතිය ලිහිල් කළ පසු දෙපාර්තමේන්තු, සංස්ථා, බැංකු ඇතුළු රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
කොළඹ දිස්ත්‍රික්කය තුළ රාජ්‍ය ආයතනවල සේවක පිරිසෙන් තුනෙන් එකක් ඇදිරි නීතිය ඉවත් කළ පසු සේවයට වාර්තා කළ යුතු වනවා.
සෙසු දිස්ත්‍රික්කවල රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩලයේ සේවයට වාර්තා කළ යුතු පිරිස සියයට 50 ක් බවයි ජනාධිපති කාර්යාලය පැවසුවේ.
රාජ්‍ය ආයතනවල සේවයට වාර්තා නොකරන කාර්යමණ්ඩල සාමාජිකයන් නිවසේ සිට රාජකාරී ඉටු කළ යුතු බවද ජනාධිපති කාර්යාලය නියම කර තිබෙනවා.
එක් එක් ආයතනයේ සේවයට වාර්තා කළ යුතු සේවක සංඛ්‍යාව සහ පැමිණිය යුතු සේවකයින් කවුරුන්ද යන්න තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානියාට පැවරෙනු ඇති.
යම් දිනයක සේවයට කැඳවන පිරිස වෙනුවට ඊළඟ දිනයේ වෙනත් පිරිසක් කැඳවීමට ආයතන ප්‍රධානියාට නිදහසද ලබාදී තිබෙනවා.
කෙසේ වෙතත්, රාජ්‍ය ප්‍රවාහන සේවාවන්හි සහ අත්‍යාවශ්‍ය සේවාවන්හි සමස්ථ කාර්යමණ්ඩලයම සේවයට වාර්තා කිරීම අනිවාර්ය බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ අතර, බස්රථ, වෑන්රථ සහ දුම්රිය මැදිරිවල ගමන් කළ යුත්තේ එම රථයේ මුළු ධාරිතාවයෙන් අඩක් පමණ වන මගීන් සංඛ්‍යාවක් බවද ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.
එම වාහන විෂබීජ හරණයට ලක් කළ යුතු බවද එම නිවේදනයේ සඳහන්.