weather satellite view

ඉදිරි දින කිහිපයේ දී විශේෂයෙන් හෙට (09) සහ අනිද්දා (10) දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ, දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බවය.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු තද වැසි ඇති විය හැකිය.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයකට සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

ගිඟුරුම් සහිත වැසි සමඟ තද සුළං හා අකුණු ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මන්නාරම සිට කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් හෙට (8) පෙරවරුවේ සිට ලබන 10 වැනිදා පෙරවරුව දක්වා ධීවර කටයුතුවල නිරතවීම අවදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 — 70 පමණ දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

මන්නාරම සිට පුත්තලම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ ද තරමක් රළු විය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මෙම මුහුදු ප්‍රදේශවල නාවුක කටයුතුවල යෙදීමේදී ද අවධානයෙන් කටයුතු කළ යුතු බව ඔහු කීවේය.

Similar Posts