poya

කොවිඩ් වයිරස් ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ ගෙන යන වැඩපිළිවෙළට සහාය දක්වමින් මේ වසරේ පොසොන් උත්සවය නිවෙස්වල සිට සැමරීමට සියලු දෙනා අදිටන් කර ගත යුතුව ඇතැයි ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

අද වන විට මෙරට පමණක් නොව සමස්ත ලෝකයම ‍කොරෝනා වසංගත තත්ත්වයෙන් දැඩිව පීඩා විඳින පසුබිමක සම්බුද්ධ දේශනාවන් තුළින් ජීවිත පෝෂණය කර ගන්නා සැදැහැති බෞද්ධයන් ලෙස ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් තමන්ගේත් අනුන්ගේත් සමස්ත සමාජයේත් සෞඛ්‍යමය යහපැවැත්ම උදෙසා සිය වගකීම් ඉටු කිරීම සඳහා මෙවර පොසොන් දිනයේ කටයුතු කිරීම සමාජයේ වගකීම බවද උන්වහන්සේලා ප්‍රකාශ කරති.

සියම් මහ නිකායේ මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ වැඩ බලන උත්තරීතර මහනායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහා නායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමල යන මහනාහිමිවරු පොසොන් උත්සවය නිමිත්තෙන් මේ අනුශාසනාව කරති.

බුදුන් වහන්සේගේ දර්ශනය අනුව අපගේ ඉදිරි ජීවන රටාවන් ප්‍රඥාසම්පන්නව සිතා බලා හැඩ ගැස්විය යුතු අතර, ඒ පිළිබඳ අනාගත මිනිස් වර්ගයාට විශාල වගකීම් සම්භාරයක් පැවරෙනු ඇති බවත් පරිසරය හා ස්වභාවික සම්පත් ආරක්ෂා කරමින් මිහිතලය අපට සපයන දෙයින් සෑහීමකට පත්වනු විනා මනුෂ්‍යය අවශ්‍යතාවන් වෙනුවෙන් ස්වභාව ධර්මයට එරෙහි වීම නොකළ යුතු බව අස්ගිරි මහා නාහිමියෝ ප්‍රකාශ කරති.

සිය වගකීම ඉටු කරමින් අර්ථාන්විතව ආධ්‍යාත්මක ගුණ වගාවන්හි නිරත වෙමින් මෙවර පොහොන් පොහෝ දිනයේ කටයුතු කිරීම සැමගේ සමාජ යුතුකම යැයි මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියෝ අවධාරණය කරති.

පොසොන් අධිෂ්ඨානය විය යුත්තේ බුද්ධ වචනය සුරක්ෂිත කර ගනිමු යන්න බව ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ වැඩ බලන උත්තරීතර මහනායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි මහනාහිමියෝ පවසති.

වසංගත රෝග බිය පහවී රටටත් ලෝකයටත් සැනසිල්ල උදා කර ගැනීම සඳහා සියලු ජනතාව මේ අවදානම් සහගත අවස්ථාවේ වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමල මහනාහිමියෝ ප්‍රකාශ කරති.

Similar Posts