එක්සත් ජාතික පක්ෂයේ තංගල්ල ආසන සංවිධයක දිනේෂ් කුමාර මහතාගේ රියදුරුට හිටුප රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ආධාර කරුවන් දෙදෙනෙකු විසින්  ඉකුත් 17 දින රාත්‍රී තම නිවස ඉදිරිපිටදී පහර දුන් බව දිනේස් කුමාර මහතා පවසයි.තමන් මේ සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලීසියට පැමිණිලි කළ බවද ඔහු පවසයි.

මෙම පහරදීම තංගල්ල මැදකැටියේ පිහිටි දිනේෂ් කුමාර  මහතාගේ නිවස ඉදිරිපිටදී සිදුව ඇති බවට පොලිස් පැමිණිල්ලේ සදහන් වෙයි. ප්‍රහාරයට ලක්ව ඇත්තේ කටුවන පදිංචි ගීගනගේ දෙනුවන් යන අයයි.   ඔහු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කොට තිබූ  බව පොලීසිය කියයි.

පහර දීමට චෝදනා ලැබූ තරුණයින් දෙදෙනාද තංගල්ල මූලික රෝහලට ඇතුළත්ව ප්‍රථිකාර ලබමින් සිටියහ.ඔවුන් සදහන් කරන්නේ දිනේෂ් කුමාර මහතාගේ රියදුරා විසින් පදවා ගෙන එන ලද වෑන් රථයෙන් තමන් යටකොට පලාගිය බවයි.

තරුණයන් දෙදෙනා  දිනේෂ් කුමාර මහතාගේ රියදුරුට ඔහුගේ නිවස ඉදිරි පිටදී පහර දෙන අයුරු සීසීටීවී දර්ශන වලද පටිගතව පවතී.

හිටපු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ මෙම පහර දීමට තමන් ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එය පෞද්ගලික ආරවුලක් බව ඔහු පැවසීය.කෙසේ වුවද දෙපිරිස සමාදාන කොට ගැටළුව නිරාකරණය කිරීම සදහා තමන් මැදිහත් වෙන බවද ඔහු පැවසීය.

18 දින තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් වරිය පැමිණ සිද්ධිය සම්බනධයෙන් විමර්ශනයක් කොට තිබිණි.ඉන් පසුව දෙපිරිස සමාදාන වී රෝහලෙන් පිටව ගිය බව දිනේෂ් කුමාර මහතා පැවසීය.

තංගල්ල ආසනයේ එජාප සංවිධායක දිනේෂ් කුමාර මහතා කළක් හිටපු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ පෞද්ගලික ලේකම් වරයා වශයෙන් කටයුතු කළ අයෙකි.

දිලිප් වෙදආරච්චි මහතා සමගි ජනබලවේගයේ දිස්ත්‍රික් නායකයා වීමත් සමග ඔහුට එජාපයේ තිබූ තනතුරු අහෝසි වී ගියේය.සමගි ජනබලවේගයට එක්වෙන තෙක් ම දිලිප් වෙදආරච්චි මහතා තංගල්ල ආසනයේ එජාප සංවිධායක වරයා වශයෙන් කටයුතු කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල එජාප සංවිධායක දිණේෂ් කුමාර මහතා තංගල්ල මූලස්ථාන පොලීසියට පැමිනිල්ල පිළිබදව  විමර්ශන තංගල්ල පොලීසිය විසින් සිදු කරනු ලබයි.

චන්ද්‍රසේන ගමගේ

Similar Posts