වසර 15 ක් වතු කම්කරුවකු ලෙස සේවයකර රෝගිව එක්තැන්වු පසු පාසල් වයසේ ගැහැණු දරුවන් දෙදෙනෙකු ඇතුළු දරුවන් තිදෙනෙකු සමග දරු පවුලම මහ මගට ඇද දැමු හොරණ වතු සමාගමේ නිව් චැටල් වත්තේ අහිංසක දරු පවුලක් හිසට සෙවනක් තනා ගන්නට බිම් කඩක් ඉල්ලා හඩා වැටෙති.

හොරණ වැවිලි සමාගමේ නිව් චැටල් නෑබඩ 11 කොටසේ අගුරුවාතොට කෝවිල අසල ලැයිමේ වෙනත් අයෙකුගේ ලැයින් කාමරයක මඩුවක වසර හතරක් තිස්සේ ඇදක් මත උඩුබැලි අතට වැතිර සිටින 58 හැවිරිදි සුප්පයියා කන්දසාමි නිව් චැටල් වත්තේ වසර පහලවක් පමණ කලක් සේවය කළ වතු කම්කරුවෙකි.

මිට වසර තුනකට පමණ පෙර දෙපා අප්‍රාණිකවිමේ රෝගි තත්වයෙන් සේවය කරගත නොහැකිව එක් තැන්ව ඇත.

වසර පහලවක් වතු පාලකයින්ට දහඩිය, කදුළු වැගුරුවාට දායද ලෙස වතු පාලකයින් සිදු කර ඇත්තේ වත්තේ සේවය නැති නිසා ලැයින් කාමරයද අහිමි කිරිමය.

ඉනෙන් පහළ අප්‍රාණික සුප්පයියා දරු තිදෙනෙකුගේ පියෙකි . තමාට සිදුවු අසාධාරණය පිළිබද කොතෙක් වගකිවයුත්තන්ට කරුණු කීවත් ප්‍රතිඵලයක් නොවු තැන දරු තිදෙනාත් බිරිදත් සමග එවක ජිවත්ව සිටි ඉටිකොළ පැල්පත ගිණි තබාගන සිය දිවි හානි කරගන්නට උත්සාහ ගත්තද ප්‍රදේශවාසින් එය වලකා තිබේ.

රෝගිවු දා සිට වසර තුනක් තිසිසේ ඇදක් මත වැතිර දැඩි මානසික කම්පනයෙන් යුතුව තම රැවුල, කොණ්ඩය පවා නොකපා කිසිවෙකු සමග කතාබහ නොකරමින් හඩමින්, කල්පනා කරමින් උඩුබැලි අතට වැතිර සිටියි.

කේ. නිර්මලා.

අපි ජිවත්වුනේ නිවි චැටල් වත්තෙ. මගේ සැමියට වතු නිවාසයක් දෙනව කියල පොරොන්දු වෙලා තිබුණා. නමුත් අපේ කරුමෙට සැමියා ගෙ තුනටියෙන් පහල පණ නැතිවෙලා එක් තැන් වුණා .

වත්තෙ වැඩ නැහැ කියල අපට වතු නිවාස නැතිවුණා. දැං අපට යන්න තැනක් නැහැ. පවුලම මැරෙන්නත් හැදුවා. අවුරුදු 19 සහ 15 වයස්වල ගැහැණු ළමයි දෙන්නෙක් ඉන්නවා. පිරිමි ළමයෙක් ඉන්නවා .

දරුවො තවම පාසල් යනවා. දරුවන්ට උගන්වන්න කියල මම පිටරට ගෘහ සේවයටත් ගියා. සැමියා එක්තැන් වූනාම ආපසු ආවා. දැන් අපි ඉන්නෙ අනුන්ගෙ ලැයින් කාමරයක කුස්සි මඩුවකයි. ගෑණු දරුවන්ට ආරක්ෂාවක් නැහැ. මේ අනුන්ගෙ මඩුවත් ලෑලි ,ඉටිකොළ වලින් වටකරගනයි ඉන්නෙ .

නමුත් මේ මඩුව අල්ලපු ලැයින් කාමරේ අයගෙ කුස්සි මඩුව. ඒක ඒ අය ඉල්ලනවා. ලොකු ගෑණු දරුවො දෙන්නෙක් අරගන එක්තැන් වෙච්ච සැමියත් අරගන කොහේ කියල යන්නද ?. පරම් පරා ගානක් මේ වතුවලට අපේ ජිවිත දියකරපු අපට වැටිල ඉන්න පරචස් පහක් දෙන්නෙ නැහැ.

නාර්තුපාන චින්තක පෙරේරා

දෙමළ මිනිස්සු වූනත් ඒ මිනිස්සුන්ටත් ජිවත්විමේ අයිතිය තියෙනවා. දේශපාලකයො ඡන්ද කාලෙට ඇවිල්ල මේ ජනතාව රවටල ඡන්දෙ අරගන යනව .

ඒ මිනිස්සුන්ට ඉන්න තැනක් නැහැ. වැසිකිළියක් නැහැ. බොන්න වතුර ටිකක් නැහැ. මේ ගැන හොයල බලන්න මොන තරම් නිළධාරින් හිටියත් මේ මිනිස්සුන්ගේ මුලික අයිතිවාසිකම් පවා කඩවෙලා. මේ මිනිස්සු ඉන්න තැනම ලැයින් කාමර පේලියේ කවුරුත් නැති හිස් කාමරයක් තියෙනවා. මේ අසරණ පවුලට ඒකවත් ලබාදිල නැහැ.

හොරණ වැවිලි සමාගමේ නිව් චැටල් කොටසේ සහකාර වතු අධිකාරි ශකිල ධර්මසිරි මහතා.

මේ පිළිබද මම හොයා බලනවා. මේ තත්වය මම දන්නෙ නැහැ.

 

සෝමරත්න පොද්දෙණිය – මිගහතැන්න

Similar Posts