පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව පරික්ෂණ පැවැත්වෙන සැකකරුවන්ගේ නාම ලේඛනයේ නම ඇති බව බය ගන්වා ඉන් නම ඉවත් කිරිමට යැයි පවසා ජංගම දුරකථන හරහා කප්පම් ලබා ගන්නා කණ්ඩායමක් පිලිබඳ තොරතුරු අනාවරණය වි ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

ඒමෙන්ම රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් කප්පම් ලබාගැනීම සඳහා බන්ධනාගාර සිරකුටිවල සිටින සිරකරුවන් විසින් පොලීසිය ලෙස පෙනී සිටිමින්ද මෙලෙස මුදල් වංචා කිරිමක් වන බව පවසන ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ මහතා මහජනතාවට දන්වා සිටින්නේ මේ පිළිබඳව දැනුවත්ව සිටින ලෙසය.

සංවිධානාත්මක කණ්ඩායමක් විසින් කප්පම් ගැනීම සඳහා ජංගම දුරකථන පදනම් කරගත් මුදල් හුවමාරු වංචාවක් මෙහෙයවන බව අනාවරණය වී තිබෙන බවද   මේ පිළිබඳව විමර්ශනය කරන ලෙස පොලීසියට උපදෙස් ලබා දි ඇතැයිද ඔහු කියයි.

මෑතකදී පොලීසිය විසින් ඉහළ පෙළේ ආරක්‍ෂක නිලධාරීන් සමඟ අමාත්‍යාංශයේදී පැවති රැස්වීමකදී ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ අවධානයට යොමු කර ඇත.

පොලිසිය පවසන පරිදි වංචාකාරයින් සමහර පුද්ගලයින් වෙත දුරකථන ඇමතුම් ලබාදී තර්ජනය කර ජංගම දුරකථන  මුදල් හුවමාරු පද්ධති භාවිතා කරමින් රු. 25,000 සහ රු. 50,000 ආදී වශයෙන් මුදල් ඉල්ලා ඇති බවත් “ජංගම දුරකථන මුදල් හුවමාරු පද්ධති භාවිතයෙන් කප්පම් ගෙවීමට සමාන සිදුවීම් පිළිබඳව අපි විමර්ශනය කරමින් සිටින නමුත් මෙම වංචාවන් පිළිබඳව ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ” ආරක්‍ෂක ලේකම්වරයා පවසයි.

එවැනි වංචාකරුවන්ගෙන් ඔබ වෙත දුරකථන ඇමතුම් ලැබී ඇත්නම් ළඟම තිබෙන පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස හෝ 119 අමතන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.   මෙම වංචාවන්ට ඍජුවම හෝ වක්‍රව සම්බන්ධකම් ඇති අයට එරෙහිව අමාත්‍යාංශය විසින් දැඩි නීතිමය පියවර ගන්නා බව ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය.

Similar Posts