රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කරගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අනෙකුත් රටවල් ජයග්‍රහණය සමග ඉදිරියට ගමන් කිරීමත් අප රට පසුපසට ගමන් කිරීමටත් හේතුව එක්ව වැඩ නොකිරීම බවය.

ඊයේ (20) පස්වරුවේ අනුරාධපුර සම්බුද්ධ ජයන්ති මහා විහාරය වෙත ගොස් විහාරාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ සංඝනායක අචාර්ය අතිපුජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත වූ අතර එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකර තිබේ.

එහිදී රටේ විනය ගොඩ නැගීම පළමු කාර්ය බව පෙන්වා දුන් නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක හිමිපාණන් වහන්සේ විනයක් නැති රටක් කිසිදා ඉදිරියට ගමන් නොකරන බවත් සඳහන් කළහ.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා ජේතවනාරාමය විහාරස්ථානය වෙත පැමිණ විහාරාධිපති අතිපූජ්‍ය ඉහළ හල්මිල්ලෑවේ රතන ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අතර අභයගිරිය විහාරස්ථානය වෙත පැමිණ විහාරාධිකාරී රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය කලංචියේ රතනසිරි නායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසීය.

ඉසුරුමුණි රජමහා විහාරස්ථානය වෙත පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මතව සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපතිවරයා රට භාරගනු ලැබුවේ දෙපසින්ම ඇවිලෙන පන්දමක් සේ රට පැවති යුගයක බව එහිදී පූජ්‍ය මතව සුමංගල නායක හිමිපාණන් වහන්සේ සඳහන් කළහ.

මේ අතර, ඉසුරුමුණි පුදබිම වෙත පැමිණ සිටි දෙස් විදෙස් සංචාරකයින් සමග ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුහද කතාබහක නිරත විය.

Similar Posts