pta

පාර්ලිමේන්තුවට ඊයේ (10) ඉදිරිපත් කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට අනුව මහාමාර්ගයකදී හෝ පොදු ස්ථානයකදී කළ ත්‍රස්ත ක්‍රියාවකට අදාළ වරදක් සම්බන්ධයෙන් මහාධිකරණයේදී වරදකරුවකු වන තැනැත්තකුට වසර විස්සක් නොඉක්මවන කාලයක් සඳහා බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කිරීමකට සහ රුපියල් දස ලක්ෂයක දඩයකට ද යටත් කිරීමට විධිවිධාන සලසා ඇත. මෙරටදී පමණක් නොව ගුවන්යානාවකදී හෝ යාත්‍රාවකදී කළ වරදක් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කිරීමට විධිවිධාන සලසා ඇත.

මිනීමැරීම, තුවාල කිරීම, ප්‍රාණ ඇපයට ගැනීම හෝ අපහරණය කිරීම මෙම පනත් කෙටුම්පතට අනුව වරදක් වේ. එමෙන්ම පොදු හෝ පෞද්ගලික පද්ධතියකට බරපතළ අලාභ හානි කිරීම, මහජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාවට බරපතළ අවදානමක් ඇති කිරීම සහ යම් ආගමික හෝ සංස්කෘතික දේපොළක් විනාශ කිරීම හෝ බරපතළ අලාභ හානි කිරීම ද වරදකි. මෙම පනත් කෙටුම්පතට අනුව මිනීමැරුමක් සම්බන්ධයෙන් මහාධිකරණයෙන් වරදකරුවකු කළ පුද්ගලයකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට විධිවිධාන සලසා ඇත.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඊයේ (10) ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටතදී සිදුකරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාවලින්, ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් වැරදිවලින් හා ත්‍රස්තවාදය පිළිබඳ වරද සංස්ථාපනය වන ඇතැම් නිශ්චිතව දක්වනු ලබන ක්‍රියාවලින් ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා ද ශ්‍රී ලංකාවෙන් පිටතදී ත්‍රස්තවාදය සඳහා සූදානම් වීමට ශ්‍රී ලංකාවේ භූමිය සහ එහි ජනතාව භාවිත කිරීම වැළැක්වීම සඳහා ද ත්‍රස්තවාදි ක්‍රියාවක් හෝ ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනක් යම් වරදක් සිදු කර ඇත්තා වූ යම් පුද්ගලයකු අනාවරණය කර ගැනීම, හඳුනා ගැනීම, ග්‍රහණය කර ගැනීම, සිර භාරයට ගැනීම, රඳවා තැබීම, පරීක්ෂණ පැවැත්වීම, නඩු පැවරීම සහ දඬුවම් දීම සඳහා විධිවිධාන සැලැස්වීම, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ඉවත් කිරීම වෙනුවෙන්ද නව පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත.

එමෙන්ම යම් වැරදිකරුවකු වරදක් සිදුකරනු ලබන හා එම වරද සිදු කිරීමේදී වෙනත් තැනැත්තකුගේ මරණය සිදු කරන ලබන යම් තැනැත්තකුට මහාධිකරණය විසින් වරදකරු කරුනු ලැබූ විට ජීවිතාන්තය දක්වා සිරදඬුවමෙන්, දඬුවම් කරන බව ද පනත් කෙටුම්පතේ සඳහන් වේ.

Similar Posts