මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකාය අනතුරු අඟවයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත් අවස්ථා කිහිපයකදීම මහජනතාව වෙත අනතුරු ඇඟවීම් නිකුත් කරන ලද බවයි.
ලැබී ඇති නවතම තොරතුරුවලට අනුව දැනට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් කණ්ඩායම් වශයෙන් මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යැවීමට කටයුතු සිදු වෙමින් පවතින බවත්, සහ එම කඳවුරුවලට අලුතින් එක් වී ඇති ශ්‍රී ලංකික පුරවැසියන්ගේ සංඛ්‍යාත්මක ඉහළ යාමක් නිරීක්ෂණය වන බවටත් තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය වෙත විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු ලැබී ඇති බව සඳහන්.
විදෙස් රටවල ආකර්ශණීය වැටුප් ලැබෙන රැකියා අවස්ථා ලබාදෙන බව පවසා තොරතුරු තාක්ෂණ දැනුම ඇති වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් තැනැත්තන් වෙළෙඳාම් සිදුකරන්නන් විසින් මෙය සිදුකරනු ලබන බවට කරුණු අනාවරණය වී ඇති අතර මෙහිදී ඔවුන් විසින් වෙනත් රටවල ඉහළ වැටුප් සහිතව තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් ශ්‍රමිකයින් ආකර්ෂණය කරගනු ලබන බවයි ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
පසුව ඔවුන් රැකියා සම්මුඛ පරීක්ෂණයන්ට සහභාගී කරවන මුවාවෙන් ඩුබායි වැනි රටවලට ගෙන ගොස් නීති විරෝධි අන්දමින් මියන්මාරයේ සයිබර් අපරාධ සිදුකරන කඳවුරුවල සේවය සඳහා බලහත්කාරයෙන් යොමු කොට ඇති බව සඳහන්. මෙම සයිබර් අපරාධ කඳවුරුවලදී ඔවුන්ව මානසික වධ හිංසනයන්ට මෙන්ම විදුලි සැර ඇල්ලීම් වැනි ම්ලේච්ඡ ශාරීරික වධහිංසාවන්ට ද පවා ලක්කර ඇති බව මෑතකාලීන විමර්ශන මගින් අනාවරණය වී ඇති බවත් දැක්වෙනවා.
ඒ අනුව, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය අවධාරණය කරන්නේ “නීතිවිරෝධි සංක්‍රමණ මාර්ග භාවිතා කිරීම දැඩි ලෙස අවධානම් වන අතර, එමගින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත උල්ලංඝනය කරන බැවින්, රැකියා අපේක්ෂකයින් සංචාරක වීසා මත වෙනත් රටවලට ගමන් කිරීම නොකළ යුතුය.” යන්නයි.
ඒ අනුව තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය මහජනතාවගෙන්, රැකියා ඉලක්කගත සංක්‍රමණය සඳහා බලයලත් ආයතන හරහා ආරක්ෂිත, නීත්‍යානුකූල ක්‍රම අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසත්, සුපරීක්ෂාකාරීව සිටීම සහ සැක කටයුතු තැනැත්තන් වෙළඳාම් පිළිබද වාර්තා කරන ලෙසත්, එලෙස අවදානමට ලක්වී දැනට විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හා ඔවුන්ගේ මෙරට සිටින නෑදෑ හිතමිත්‍රාදීන් පිළිබඳව අදාල අංශ වෙත දැනුම් දීම ඔස්සේ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්ෂා කරන ලෙසත් ඉල්ලා සිටියි.
එමෙන්ම, එවැනි සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව 0112102570 සහ 076 844 7700 යන දුරකථන අංක ඔස්සේ හෝ [email protected] යන ඊමේල් ලිපිනයන් ඔස්සේ දැනුම් දීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතරම, තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය බැඳී සිටින බවත් අවධාරණය කර ඇත.