ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා භාරගන්නා ලබන 15 වනදා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඩ්‍රෝන කැමරා,ස්නයිපර් තුවක්කුකරුවන් සහ පන්දහසකට ආසන්න පොලිස් නිලධාරීන් යෙදවීමටයි යොජනා වී ඇත.
මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව සඳහා එදින විශේෂ රථවාහන සැළැස්මක්ද ක්‍රියාත්මක බව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ප්‍රකාශ කලේය.
මැතිවරණ කොමිෂන් සභාවේ දී ඉකුත් 09 වැනිදා පැවති නාමයෝජනා දින ආරක්ෂක සැලසුම පිළිබඳ සාකච්ඡාවේදී මෙම යෝජනා ඉදිරිපත් වී තිබේ.
කොමිෂන් සභා පරිශ්‍රයට පැමිණෙන රථවාහන වෙනුවෙන් ඒ, බී, සී, වශයෙන් බලපත්‍ර 3 ක් නිකුත් කෙරෙන අතර, අපේක්ෂකයාට හිමිවන්නේ ඒ බලපත්‍රයයි.
එම බලපත්‍රයෙන් අපේක්ෂකයාට පමණක් සිය වාහනයෙන් මැතිවරණ කාර්යාලයට පැමිණීමට අවස්ථාව හිමිවේ.
අපේක්ෂකයා සමඟ ඊට ඇතුලුවිය හැක්කේ නාමයෝජනා පත්‍රයට අත්සන් තබන තවත් දෙදෙනෙකුට පමණි.
නාමයෝජනා භාරගැනීම 15 වැනිදා පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය තුළ සිදුකරනු ලබන අතර විරෝධතා සඳහා විනාඩි 30ක කාලයක් වෙන්කර තිබේ.
මේ දක්වා අපේක්ෂකයින් 27 දෙනකු ඇප මුදල් තැන්පත් කර තිබෙන අතර මුදල් ඇප තැන්පත් කිරීම 14 වැනිදා දහවල් 12.30 දක්වා සිදු කළ හැකිය.