නිසි පෝෂණය සහිත ආහාර වේලක් ලැබෙන ප්‍රමාණය රටේ ජනතාවගෙන් 5න් එකක් වන බවත් රටේ ජනතාවගේ ආදායමෙන් සියයට 75ක්ම ආහාර සදහා වියදම් වන බවත් අනාවරණ වී තිබෙනවා. ඒ, ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හදුනාගැනීම සදහා වන ජාතික සභා අනුකමිටුවේදීයි.
එම අනුකමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී රැස් වුණා. එම රැස්වීම කැදවා තිබුණේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ සුරක්ෂිතතාව, පොහොර අවශ්‍යතාවය, අස්වැන්නේ ඉදිරි අඩුවීම, මන්දපෝෂණ තත්ත්වය සහ එයින් ඇතිවිය හැකි සමාජයේ අතුරු ඵල ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් විද්වත් අදහස් ලබාගැනීමටයි.
වසර 10ක පමණ කාලයක් තිස්සේ රටේ පවතින මන්දපෝෂණ තත්ත්වය වර්තමාන ආර්ථික අර්බුදයත් සමග උත්සන්න වී ඇති නිසා මෙම තත්ත්වය පිටුදැකීම සදහා ගතහැකි කෙටි හා මධ්‍ය කාලීන පියවර සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී තිබෙනවා.
එහිදී ජාතික සභා අනුකමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත්තේ ආදායම් සහ ගෘහස්ථ වියදම් පිළිබද සමීක්ෂණය වහාම සිදු කරන ලෙසයි. 2019 වසරෙන් පසු එම සමීක්ෂණය සිදු කර නොමැති බවත් ආර්ථික අර්බුදය හේතුවෙන් සමාජය මුහුණදෙන ප්‍රතිවිපාක පිළිබද එමගින් නිවැරදිව තොරතුරු ලබාගත හැකි බවත් මන්ත්‍රීවරයා එහිදී පෙන්වාදී තිබෙනවා.
රට තුළ බදු වැඩිකිරීම් ආදී ක්‍රියාමාර්ග මගින් ආදායම් වැඩි කළද එහි අතුරු සමාජයීය ප්‍රතිඵල ලෙස කර්මාන්ත පවත්වාගෙන යාමේ ගැටලුව, රැකියා අහිමිවීම් සහ පෝෂණ තත්ත්වයන් පහත වැටීම් වැනි කරුණු දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවට ද එහිදී සාකච්ඡා වී තිබෙනවා.