water

ජනතාවට යටිතල පහසුකම් සැපයීමේ දී නාගරික ජනතාව මෙන්ම ග්‍රාමීය ජනතාව කෙරෙහි ද ඉහළ අවධානයක් යොමු කිරීම බලධාරීන්ගේ වගකීමක්.

නමුත් බලධාරීන්ගේ දෑසට ලක් නොවූ පිරිසක් පිළිබඳව මේ තොරතුරු වාර්තා වන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන්.

මඩකලපුව දිස්ත්‍රික්කයේ, වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මදුරන්කේනිකුලම්, කුච්චවේලි, කුඥ්ඥංකුලම්, කිරිවිච්චිය යන ගම්මානවල ජනතාවට ප්‍රවාහන මෙන්ම ජල පහසුකම් ආදී යටිතල පහසුකම් නිසි ලෙස නොමැති වීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

මෙම ගම්මාන අනරින් කිරිවිච්චිය ගම්මානයේ පමණක් පදිංචිව සිටින ආදිවාසී පවුල් සංඛ්‍යාව 75කට ආසන්නයි.

අදාළ ගම්මානවල ජනතාවට පානීය මෙන්ම කෘෂිකාර්මික අවශ්‍යතා වෙනුවෙන් ඇති ඌත්තෝඩෙයි වැව මේ වනවිට දැඩි හානියකට ලක්ව ඇති අතර, එය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස බලධාරීන්ට අවස්ථා රැසකදී දැනුවත් කළත් කිසිදු ප්‍රතිඵලයක් මේ දක්වා ලැබී නැහැ.

පානීය ජලය සපයා ගැනීමට පවතින දැඩි දුෂ්කරතා හේතුවෙන් කිරිවිච්චිය සහ මදුරන්කේනිකුලම් ගම්මාන කේන්ද්‍ර කර ගනිමින් පානීය ජල යෝජනා ක්‍රම 2ක් ආරම්භ කර තිබෙනවා.

ඒ අතරින් රුපියල් කෝටි එකහමාරක පමණ පිරිවැයක් දරමින් ඉදිකිරීම් ඇරඹූ කිරිවිච්චිය ජල යෝජනා ක්‍රමය මෙතක් අවසන් කිරීමට බලධාරීන් අපොහොසත් වි ඇත්තේ ඒ සඳහා වැය කළ මුදල් මෙන්ම උපකරණ ද විනාශමුඛයට යවමින්.

ඊට අමතරව මදුරන්කේනිකුම් ගම්මානයේ ස්ථාපිත ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වුවත්, එමගින්ද දිනකට පැය බාගයකට ආසන්න කාලයක් පමණක් ජලය ලැබීම සිය ජල අවශ්‍යතා සපුරාලීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ජනතාවගේ සුබසෙත සලසන බවට පාරම්බාමින් ඇතැම් බලධාරීන් ආරම්භ කරන මෙවැනි ව්‍යාපෘති හරහා එම ජනතාවට අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීමත්, මහජන මුදල් කාබාසිනියා කිරීමත් පමණක් සිදුවන්නේ නම් එය කෙතරම් ඛේදජනක තත්ත්වයක් ද ?

More Stories