රටේ ජනතාවට “අයිතිය” ලබා දීම තම ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබා දීමේ “උරුමය” රජයේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම් අයිතිය නැති පවුල් 27,595කට ඉඩම් ඔප්පු ලබා දීම සංකේතවත් කරමින් පවුල් 192ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් පෙරේදා (22) මඩකලපුව, තිරායිමඩු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවති උත්සවයට එක් වෙමිනි.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 ආවරණය වන පරිදි මෙම ඉඩම් ඔප්පු ප්‍රදානය සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඊට එක් විය.

මීට අමතරව උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනයේ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 252 දෙනකුට ගුරු පත්වීම් ලබා දීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මේ අතර රුපියල් මිලියන 1,055ක වියදමින් මඩකලපුව තිරායිමඩු ප්‍රදේශයේ ඉදිකළ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කරන ලදි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී එතුමාගේ උපදෙස් පරිදි 2016 වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා එවකට ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් මෙම නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිකිරීම ආරම්භ කළේය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ සේවා පහසුකම් පුළුල් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් මෙම නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිකර තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

ඉන් අනතුරුව පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහන අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“ත්‍රිකුණාමලය ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණු කිරීමට අප තීරණය කර තිබෙනවා. ඒ සඳහා ඉන්දියාවේ සහාය ලබා ගැනීම පිළිබඳ පසුගියදා ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණි අවස්ථාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබුවා.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ මෙම ප්‍රදේශවල විශාල කෘෂි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ ඇති මහවැලි ව්‍යාපාරයට අයත් නොදියුණු ඉඩම් දියුණු කිරීමේ වැඩසටහනක් ද කඩිනමින් ආරම්භ කරනවා.

ඒ වගේම වෙරුගල්ආරු සිට ආරුගම්බේ දක්වා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ද සැලසුම් කර තිබෙනවා. මඩකලපුව කොටුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ සංචාරක කටයුතු සඳහා සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන අතර එවිට හොඳ හෝටලයක් මේ පළාතට ලැබෙනවා. ඒ වගේම මෙම ප්‍රදේශයේ කිරි ගව පාලනය දියුණු කිරීමට ද බලාපොරොත්තු වෙනවා.

මෙම වසරේ ආර්ථික පරිවර්තන පනත සම්මත කර ගැනීමෙන් පසු විශාල වැඩ කොටසක් මෙහි ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව ත්‍රිකුණාමලය ප්‍රධාන අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමට හැකියාව ලැබෙනවා.

නැඟෙනහිර සහ අග්නිදිග යන විශ්වවිද්‍යාල දෙකම මෙහි පිහිටා තිබෙනවා. මෙම ප්‍රදේශයේ අධ්‍යාපනය තවදුරටත් දියුණු කිරීමට අප සැලසුම් කර තිබෙන අතර වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය සමඟ වැඩි වැඩියෙන් තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණු අවස්ථා ලබා දීමට හැකි වෙනවා.

ඒ වගේම පසුගිය වසර තුන හතරක් ගුරුවරු බඳවා ගැනීමට නොහැකි වූ නිසා පාසල් අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් ගුරු පත්වීම් ලබා දීම ද අද සිදු වුණා. විරැකියාව අපේ රටේ විශාල ගැටලුවක් වී තිබෙනවා. ඒ අනුව අප නව සංවර්ධන ක්‍රියාවලියක් ඔස්සේ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා බිහි කර දිය යුතුයි. අප ඉතා අසීරු කාලයකට මුහුණ දුන්නා. මේ රටේ සාමාන්‍ය ජනතාව විශාල ලෙස දුක් වින්දා. රට නැවත දියුණුවෙමින් තිබෙන අවස්ථාවේ අප කිසිවිටෙකත් එම ජනතාව අමතක කරන්නේ නැහැ.

ඒ අනුව ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමේ උරුමය වැඩසටහන අප ක්‍රියාත්මක කළා. දැන් ඔබට ඉඩමක නීත්‍යනුකූල අයිතිය හිමිව තිබෙනවා. කිසිවකුට යටත්වීමට අවශ්‍ය නැහැ. අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් අප අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. දැන් ගොවිජනතාව වෙනුවෙන් සින්නක්කර ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා. මෙම ප්‍රදේශය සඳහා සින්නක්කර ඉඩම් ඔප්පු 27,000කට අධික ප්‍රමාණයක් ලබා දීමට නියමිතව තිබෙනවා. මෙම ඉඩම් ඔප්පු ලබා දීම කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අදාළ රාජ්‍ය නිලධාරීන් සියලුදෙනා ගමට එවීමට වැඩපිළිවෙළක් ද අප සකස් කර තිබෙනවා.

එවිට මෙම ඉඩම් ඔප්පු ලබා ගැනීමට ජනතාවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණීම අවශ්‍ය නොවන අතර දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ඉඩම් නිලධාරීන්, මන්ත්‍රීවරුන් සහ ආණ්ඩුකාරවරයා ගමට ගොස් එම ඉඩම් ඔප්පු ජනතාවට ලබා දීමට කටයුතු කරනවා. එම වැඩපිළිවෙළ එළැඹෙන සඳුදා ආරම්භ කර කඩිනමින් අවසන් කිරීමට මම උපදෙස් දී තිබෙනවා. මට තිබෙන්නේ එකම අරමුණයි. ඒ අයිතිය ජනතාවට ලබා දීමයි. එම ලැබෙන ඉඩම් අයිතිය ආරක්ෂා කර ගන්නා ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා‍.”

නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා,

“ජනාධිපතිතුමා පිළිගැනීමට ලැබීම මම මහත් ගෞරවයක් ලෙස සලකනවා. මෙම ව්‍යාපෘතිය එතුමා විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක්. එදා ස්වදේශ කටයුතු ඇමැතිව සිටි වජිර අබේවර්ධන මහතා ලබා දුන් රුපියල් බිලියනයක පමණ ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ව්‍යාපෘතිය ආරම්භ කළ රනිල් වික්‍රමසිංහ මහතාම ජනාධිපතිවරයා ලෙස එය විවෘත කිරීමට පැමිණ සිටිනවා.”

මේ අවස්ථාවේදී රාජ්‍ය ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, රාජ්‍ය ඇමැති එස්. වියාලේන්ද්‍රන් සහ මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ඒ.එල්.එම්. අතාවුල්ලා මහත්වරු ද අදහස් දැක්වූහ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, නැ‍ෙඟනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරුන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයෝ ද, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ. මුරලිදරන්, නැ‍ඟෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් එච්. ඊ. එම්. ඩබ්ලිව්. ජී. දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Similar Posts