elepaht89

මිහින්තලය යනු ලොව ප්‍රථම අභයභූමියයි. ලොව ප්‍රථම හරිතාගාරය කියාද හැඳින්විය හැකි අතර මේ අභයභූමිය අක්කර 542ක් පුරා විහිදී ඇත.

ඉන් පෝෂණය වන ගහකොළ හා සතා සිව්පාවුන් වැසිවලදී හමා යන සිහින් මදනල සමඟින් පරිසරයේ සොබා සෞන්දර්යය මනාව කියාපානු ඇත.

එහෙත් මේ පරිසර පද්ධති බොරලු කැපීම්, පුරා වස්තු විනාශ කිරීම්, රක්ෂිතයන් අමු අමුවේ කපා දැමීම්, ඉඩම් කොල්ල යන මේ සියලු කාරණා හේතුවෙන් ලොව ප්‍රථම අභයභූමිය ද මේ වන විට අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇත.

වර්තමානය වන විට මේ සියල්ල පසෙකලා අලි-මිනිස් ගැටුම් නිර්මාණය වී ඇත්තේ ගරිල්ලා සටන් ක්‍රමයක් ලෙසිනි. කිසිදු පිළිසරණයක් නැති මිනිසුන් සේම වන අලි තමන්ගේ අයිතීන් උදෙසා මහත් වූ සටනක නිරතව සිටිති.

මේ ගැටුම නිර්මාණය වීමට මූලිකවම බලපා ඇත්තේ මිනිසා විසින් කිසිදු අනුකම්පාවකින් තොරව ගහකොළ විනාශ කර දැමීමයි. ඔබ වෙත පවසන්න යන්නේ ද එවැනිම උත්තර නැති කතාවකි.

අනුරාධපුර – ත්‍රිකුණාමල ප්‍රධාන නගරයෙන් මහකනදරාව පාලම පසු කර මීටර කිහිපයක් ඉදිරියට ගමන් කිරීමේදී දකුණු පසින් පිහිටා ඇති කාපට් මාර්ගය සඳහා අවතිර්ණ විය හැකිය. මෙය මහකනදරාව වැව රක්ෂිතයයි.

පොතානගම් ආරම්භ වන මේ රක්ෂිතය නොච්චිකුලම දක්වා විහිදෙන මහකනදරාව වැවේ හදවත ලෙසින් හැඳින්විය හැකිය. මේ මාර්ගයේ ඉදිරියට ගමන් කිරීමේදී ගල්මඩුව ප්‍රදේශය හමුවෙයි. මෙය ජනශූන්‍ය ප්‍රදේශයකි.

2016 වර්ෂයේදී එවකට ආණ්ඩුවේ සිටි නිවාස ඇමැතිවරයා විසින් රට පුරා ඉදි කළ නිවාස ව්‍යාපෘති වෙනුවෙන් මිහින්තලේ ප්‍රදේශයේ ද නිවාස ඉදි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කෙරිණි. මේ අනුව නිවාස 40කට ආසන්න ප්‍රමාණයක් ඉදි කිරීමට භුමියක් තෝරා ගැනීමේදී ඔවුන්ගේ අවධානය යොමු වූයේ මහකනදරාව රජයේ රක්ෂිතයේ ගල්මඩුව ප්‍රදේශයයි.

මේ ප්‍රදේශයේ තැනින් තැන ගොවි ජනතාව විසින් හේන් ගොවිතැන් කර තිබූ අතර එවකට රජය මඟින් මෙය රජයේ රක්ෂිත යැයි ගොවියන් පලවා හැරීමට කටයුතු කරන ලදි.

මෙසේ රජයේ නිලධාරීන් ක්‍රියා කිරීම මත මහජනතාව දැනුවත්ව සිටියේ පරිසරය ආරක්ෂා කිරීම සඳහා ගනු ලබන පියවරක් ලෙසින්ය. එහෙත් ඔවුන් අනුමාන කළා වැරදිය. රජයේ රක්ෂිතයක් යැයි පවසා ගොවියන්ගෙන් උදුරාගත් ඔවුන් කාලයත් සමඟ නිවාස ව්‍යාපෘතිය ඉදි කිරීම සඳහා එකින් එක පෙලගැස්වූයේ කාහටත් හිතා ගැනීමටවත් නොහැකි අයුරින්ය.

කරුණු අවබෝධ කරගත් මහජනතාව, පරිසරවේදීන්, එවකට විපක්ෂය (මෙකල ආණ්ඩු පක්ෂය) තදින් විරුද්ධ වුවත්, ඉදි කිරීම් නතර කිරීමට අපොහොසත් විය.

එහිදී ඉස්මතු වූයේ මේ පරිසරය කපා නිවාස ඉදි කිරීමෙන් වන අලි හා අනෙකුත් වන සතුන් දැඩි අසීරුවට පත්වෙන බවකි.

වෙනත් විකල්ප භුමියක් තෝරා ගැනීමට හැකියාව තිබියදීත් එවකට බලධාරීන් විසින් මේ භූමිය අනුකම්පා විරහිතව එළිපෙහෙළි කරමින් නිවාස ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. අඩු ආදායම්ලාභි නිවාස නැති අය දීමට ආරම්භ කළ නිවාස යෝජනා ක්‍රමයක් වුවත්, දේශපාලන හිතවත්කම් අනුව මේ නිවාස දීම සිදු කර තිබේ.

වන අලින්ගේ නිජබිමක් වූ මහකනදරාව රක්ෂිතය කපා නිවාස ඉදි කිරීමත් සමඟ වන අලින්ට පරිසරය තුළ සැරිසැරීම ආහාර සොයා ගැනීම ප්‍රබල ගැටලුවක් වී ඇති හෙයින්, වන අලි-මිනිසුන් අතර මේ වන විට ගැටුම් නිර්මාණය වී ඇත.

මේ වන අලි රෑනක් ලෙසින් උදාකළ ගම්මානයට පමණක් නොව අවට ගම්මාන කිහිපයකම ජීවිත මෙන්ම දේපළ විනාශ කිරීමේ නිරත වෙමින් ජන ජීවිත අඩාළ කර අවසන්ය. පොතානගම, ගල්මඩුව, පුදුක්කුලම වෙරුප්පුකුලම, ඉහළගම, සුරුක්කුලම කිරිමැටියාව, නීතියගම, නැටියගම, කසමඩුව, පෙරියකුලම, කටුකැලියාව යන ගම්මානවලට දිගින් දිගටම වන අලින්ගේ කරදරවල ඉවරයක් නැත.

මේ නිවාස ව්‍යාපෘතියේ නිවාසලාභිනියක වූ එච්.එම්. රම්‍යලතා (47) මහත්මිය මෙසේ පැවසුවාය:

“සජිත් ප්‍රේමදාස මහත්තයගෙ නිවාස ව්‍යාපෘතිය යටතේ මටත් නිවෙසක් ලැබුණා. ලක්ෂ 04ක මුදලක් සමඟ පර්චස් 15ක බිම් කැබැල්ලක් තමයි ලැබුණේ. ගෙවීමේ පදනම යටතේ මේ මුදල ලැබුණේ මාසික වාරිකය රු.4250කට. මුල් දවස්වල දොරක් ජනේලයක්වත් තිබුණේ නෑ. ඒත් මේ තරම් අලි කරදරයක් තිබුණෙත් නෑ.

දැන් වසර දෙකක ඉඳලා තමයි දරුණුම විදිහට අලි කරදරය ඇති වුණේ. මේක රජයේ රක්ෂිතය තමයි. ඉස්සරත් අලි හිටියා. ඒත් මේ තරම් කරදරයක් තිබුණේ නෑ. දැන් හවස 03 පමණ වන විට ගේ පිටිපස්සට වන අලි 100 – 200ක් පමණ එනවා. මේක රජයේ රක්ෂිතයක් නිසා නිවාසයකට පර්චස් 15ක් දුන්නේ.

ගේ ඉස්සරහින් එළියට එද්දි, ප්‍රධාන පාර පිටිපස්සෙන් එළියට යද්දි රජයේ රක්ෂිතය. ඉතිං ගේ ඇතුළේ ලුණු කැටයක්, හාල් ඇටයක් තියාගන්න බෑ. බිත්ති කඩලා අලි ටික එවා කනවා. පසුගිය රජයෙන් තමයි අඩු ආදායම්ලාභි පවුල් සඳහා නිවාස ලබා දුන්නේ. එදා ඉඳන් පර්චස් 15 ඇතුළේ අපි හිරවෙලා.”

ආර්. සරෝජිනී මහත්මිය (30):

“මට පුංචි දරුවෝ දෙන්නෙක් ඉන්නේ. මහත්තයා රෑට ගෙදර නෑ. එයා ධීවර කර්මාන්තයේ යෙදෙන්නෙක්. මහකනදරාවේ වැවෙන් තමයි මළු අල්ලන්නේ. එයා රස්සාව කරන්නේ රෑට. ගේ වටේම අලි රංචු පිටින් ඉන්නවා. මොනම හේතුවක් නිසාවත් එළියට යන්න බෑ. අලි ගේ කඩයි කියලා බයෙන් තමයි දරුවො දෙන්නත් එක්ක ඇතුළට වෙලා ඉන්නේ.”

මේ පිළිබඳව මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා මෙසේ පැවසීය:

“වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පුංචි බිම් තීරුවක් නිදහස් කරලා දුන්නා. ඒ අනුව තමයි නිවාසලාභීන් සඳහා පරිචස් 15ක් දීමට කටයුතු කළේ. කාලයක පටන් මෙහි ජනතාව ගොවිතැන් කළා.

ඉස්සර ඉඳින් වන අලි ගැවසුණේ ඔය කැලෑවල තමයි. රජයේ රක්ෂිතයන් අනවසරයෙන් එළිපෙහෙළි කිරීම තුළ තමයි වන අලි ගම්මානවලට කඩා වදින්නේ. වන අලින් වගේම මිනිස් ජීවිත කිහිපයක්ම අහිමි වුණා.”

ප්‍රියදර්ශනී කරුණාරත්න – මිහින්තලේ සමූහ

Similar Posts