rain

නිරිත දිග මෝසමේ බලපෑමෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි තත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (4) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව ද එම ප්‍රකාශකයා සඳහන් කරයි.

ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, එහි අගය මි.මී. 311.5 ක් වන බවයි.

මීට අමතරව හොරණට මි.මී. 280 ක වර්ෂාපතනයක් සහ මිනුවන්ගොඩට මි.මී. 179 .5 වර්ෂාපතනයක් ලැබී තිබේ.

කැලණි ගඟේ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කො⁣ළොන්නාව, කොළඹ සහ වත්තල ආශ්‍රිත පහත් බිම්වල පවතින සුළු ගංවතුර තත්ත්වය වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, කළු ගඟ ද්‍රෝණියේ මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශවලට මි.මි. 175 කට අධික අධික වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

වර්ෂා තත්ත්වය අනුව කළු ගං නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල දැනට පවතින සුළු ගංවතුර තත්ත්වය ඉදිරි පැය 24 ඉක්මවා පැවතිය හැකි බවට අනතුරු අඟවා තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, සැලකිල්ලෙන් පසුවන ලෙසයි.

Similar Posts