ශ්‍රී ලංකාවේ මීට පෙර පැවති මැතිවරණ සමග සන්සන්දනය කිරීමේදී මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය “ඉතා යහපත් තත්ත්වයක්” බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පෙන්වා දුන්නාය.
“මේ ජනාධිපතිවරණයේදී ජාතිවාදය පදනම් කරගෙන ප්රචණ්ඩ ක්‍රියා සිද්ධ වුණෙත් නැහැ සමස්තයක් විදිහට. ජාතිවාදය හෝ වෙනත් උපක්රමික සිද්ධි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් දැඩි ලෙස ප්‍රතිචාර දැක්වූවා. ඒ වගේ ම ඒ වගේ සිද්ධි ගැන නිරන්තරයෙන් දැනුවත් කළා. ඒ නිසා සමාජයේ යම් සමබර තත්ත්වයක් නිර්මාණය වුණා. භෞතික වශයෙන් ප්රචණ්ඩ ක්‍රියා අවම වෙන්න ඒකත් හේතු වුණා.”
බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ, “වත්මන් රජයේ ඇතැම් සාධනීය ලක්ෂන හේතුවෙන් යම් ආකාරයකට ශ්‍රී ලංකාවේ දේශපාලනික සංස්කෘතියේ වෙනසක් සිදුව ඇති,” බවය. ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පෙන්වා දුන්නේ, සමාජ මාධ්‍ය භාවිතය ඉහළ යාම ද මෙම පරිවර්තනයට හේතු වූ බවය.