ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කිරීම මෙන්ම සාධාරණත්වය,යුක්තිය සහ ස්වෛරීභාවයට ගරු කිරීම යන මූලධර්ම සහතික කිරීම තුළ ප්‍රමාණයෙන් හෝ බලයෙන් තොරව සියලු ජාතීන්ට දියුණු වීම සඳහා සාධාරණ අවස්ථාවක් ඇති ලෝකයක් නිර්මාණය කළහැකි බව විදේශ කටයුතු ඇමැති අලී සබ්රි මහතා ප්‍රකාශ කරයි. රුසියාවේ නිශ්නි නොව්ගොරොද්හි පැවැති BRICS විදේශ අමාත්‍යවරුන්ගේ සැසියට එක්වෙමින් විදේශ ඇමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ පැවැත්වෙන ‘බ්‍රික්ස් විදේශ ඇමැති සැසිවාරය – 2024’ සඳහා සහභාගී වන ලෙස රුසියානු විදේශ කටයුතු ඇමැති සෙර්ගෙයි ලැව්රොව් මහතාගේ ආරාධනයකට අනුව විදේශ කටයුතු ඇමැතිවරයා රුසියාව බලා පිටත්ව ගිය බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

විදේශ අමාත්‍යවරුන් 17 දෙනෙකු ඇතුළු රටවල් 22ක ඉහළ පෙළේ නියෝජිතයන් මේ හමුවට එක්ව තිබෙන අතර එම සමුළුව පසුගිය 10 හා 11 දිනයන්හිදී පැවැත්විණි.

දේශගුණික විපර්යාස,ණය බර සහ ආහාර සුරක්‍ෂිතතාව යන ගෝලීය අභියෝගවලට ගෝලීය දකුණු සාමූහිකව ආමන්ත්‍රණය කළයුතු බව ඇමැති අලී සබ්රි මහතා එම සැසියේ දී සිය ප්‍රකාශය කරමින් සඳහන් කර තිබේ.දෙවන ලෝක යුද්ධයෙන් පසුව පිහිටුවන ලද ගෝලීය පාලනයේ ගෘහ නිර්මාණ ශිල්පය සැලකිය යුතු සන්ධිස්ථාන අත්පත් කරගෙන ඇති බවද හෙතෙම පෙන්වා දී ඇත.

ලෝකයේ සමකාලීන යථාර්ථය පිළිබිඹු කිරීම සඳහා මේ ව්‍යුහය පරිණාමය වියයුතු බවට වැඩි වැඩියෙන් පැහැදිලි වන්නේ යැයි සඳහන් කර තිබෙන විදේශ ඇමැතිවරයා නැඟී එන ආර්ථිකය සහ සංවර්ධනය වෙමින් පවතින රටවල හඬ සහ අවශ්‍යතා ජාත්‍යන්තර ආයතනවල තීරණ ගැනීමේ ක්‍රියාවලියට වඩාත් පූර්ණ ලෙස ඒකාබද්ධ කළයුතු බවද පෙන්වා දී තිබේ.

පොහොසතුන්ට සහ බලවතුන්ට ගැළපෙන විට පමණක් නොව,තිරසාර පැවැත්මක් සඳහා සාධාරණ සහ යුක්ති සහගත ආදර්ශයක් ලෙස නීති මත පදනම් වූ නියෝගයක් සහතික කිරීම සඳහා අප දැඩි උත්සාහයක් ගැනීම අත්‍යවශ්‍ය බව පෙන්වා දී තිබෙන අලී සබ්රි මහතා ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කිරීම සහ සාධාරණත්වය,යුක්තිය සහ ස්වෛරීභාවයට ගරුකිරීම යන මූලධර්ම සහතික කිරීම අපගේ ක්‍රියාවන්ට මඟ පෙන්වන බවද සඳහන් කර ඇත.

ප්‍රමාණයෙන් හෝ බලයෙන් තොරව සියලු ජාතීන්ට දියුණුවීමට සාධාරණ අවස්ථාවක් ඇති ලෝකයක් නිර්මාණය කළ හැක්කේ එවිට බව සඳහන් කර තිබෙන විදේශ ඇමැතිවරයා ලෝක පර්යාය හැඩගැස්වීමේ දී කලාපීය සංවිධානවල වැදගත් සහ ඵලදායී කාර්යභාරය අවධාරනය කරන අතරම, ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (IORA) සභාපතිවරයා ලෙස ද කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීම සහ ඉදිරියට යාම සඳහා වේදිකාවක් ලෙස සේවය කළ හැකි බව පවසා තිබේ.

Similar Posts