ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා නව යෙදුමක් සකස් කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

ඒ, ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින්.පසුගියදා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ඒ මහතා මෙම උපදෙස් ලබා දී තිබුණි.

කෙසේ වෙතත් ව්‍යාජ ස්ටිකර් හඳුනාගැනීමේ යාන්ත්‍රණයක් දෙපාර්තමේන්තුව සතුව නොමැති බවත් මෙහිදී අනාවරණ වී ඇති බව සඳහන්.

තවද රට තුළ නිෂ්පාදනය වන මත්පැන් ප්‍රමාණය සහ වෙළෙඳ පොළට නිකුත් කෙරෙන මත්පැන් ප්‍රමාණය ඇතුළු තොරතුරු සෘජුව පරීක්ෂා කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ පාලනය යටතේ යාන්ත්‍රණයක් තිබිය යුතු බව ද කමිටුව පෙන්වා දෙන ලදි.

මධ්‍යසාර නිෂ්පාදනය සඳහා රා අවශ්‍යතාවය සහ කෘතිම රා නිෂ්පාදනයෙන් සිදුවන බලපෑම් සහ රා නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව පොල් ගස් වගා කිරීම ඇතුළු විවිධ කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

එසේම බොහෝ මත්පැන් සමාගම්වලින් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු හිඟ බදු මුදල් පවතින බවද නිලධාරීහු මෙහිදී පැවසූ අතර එවැනි සමාගම්වල බලපත්‍ර අවලංගු කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වාදුන්නේය.

More Stories