ol-exam

මධ්‍යම පළාතේ පාසල් සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් තෙවන වාරයේ විභාගයේ විෂයන්ට අදාළව සකස් කරන ලද විභාග ප්‍රශ්න පත්තර පිළිතුරු පත්‍ර ද සමඟ කල්තියා පිටවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාසගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

10 සහ 11 වසරවල ආගම, සිංහල සහ ඉංග්‍රීසි යන විෂයන්ට අදාල ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර මෙසේ කලින් පිට වී තිබෙන බවත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාස පැවසීය.

පිටවී ඇති ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර මේ වන විට වට්ස්අැප් තාක්ෂණය ඔස්සේ පාසල් සිසු සිසුවියන් අතර හුවමාරු වෙමින් පවතින අතර වත්තේගම අධ්‍යාපන කලාපයට අයත් පාසලක සිසුවෙකු පසුගිය10 දින ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට අදාළව පිලිතුරු පත්‍රය ද ළඟ තබාගෙන පිළිතුරු ලියමින් සිටිය දී ගුරුවරයකුට හසුවීමෙන් පසු ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය හෙළි වී තිබේ.

තෙවන වාරයේ විභාගය ආරම්භවීමට සති දෙකකට පෙර මධ්‍යම පළාතේ පාසල් 1500ක විදුහල්පතිවරුන්ට අදාල ප්‍රශ්න ප්‍රශ්න පත්‍ර සහ පිලිතුරු පත්‍ර යවා ඇති අතර කිසියම් විදුහල්පතිවරයකුගේ මාර්ගයෙන් මේ ආකාරයෙන් ප්‍රශ්න පත්‍ර සහ පිලිතුරු පත්‍ර පිට වන්නට ඇතැයි සැක කරන බව අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පවසයි.

ගුරු සේවයේ නිරත පුද්ගලික පංති පවත්වන පුද්ගලයකු මෙම ප්‍රශ්න පත්‍ර කල්තියා පිට කිරීමේ සිද්ධිය පිටුපස සිටින බවට සැක කරන බව පැවසූ අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත විෂයන්ට අදාල ප්‍රශ්න පත්‍ර ද මේ වන විට පිටව ඇති බවට සැක කරන බවද පැවසීය.

More Stories