ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවණතාවය වැඩිවීමත් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
මෙරට තුළ කොරෝනා වෛරසයේ මීට පෙර හමු නොවූ ප්‍රභේදයක්ද ඉකුත් දින කිහිපය තුළ වාර්තා වු බවයි එම කාර්යාංශය පැවසුවේ. මේ පිළිබඳව විද්‍යාත්මක දත්ත සමාලෝචනය සහ තොරතුරු අධ්‍යනය කිරීම දැනටමත් සිදුවන අතර මහජනතාව පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දැනුම් දෙනවා.
මෙවර උත්සව සමය හා ඊට සමගාමීව මෙම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ක්‍රමයෙන් අඩු වීමක් දක්නට ලැබීම මෙම අවදානම් තත්ත්වය නිර්මාණය වීමට හේතු වී ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවසුවේ.
යළිත් වරක් දැඩි නීති පැනවීම සහ සංචරණ සීමා පැනවීම වැනි ක්‍රියා මාර්ගවලට යොමු වීම වැළැක්වීමට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සියළු දෙනාගේ වගකීමක්.
දෑත් පිරිසිදුව තබා ගැනීම, මුව ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථ භාවය පවත්වා ගැනීම, කැස්ස, උගුරේ අමාරුව, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් මිනිසුන් ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටීම, පුද්ගලයන් වැඩිපුර රැස් වන ස්ථාන වෙත නොයා සිටීම මෙම නිවාරණ උපායමාර්ග අතර වනවා.
මේ අතර මැදි දින පැවැත්වීමට නියමිතව තිබූ සියලු රැස්වීම් සහ පෙළපාළි නොපැවැත්වීමට පක්ෂ නායකයන් තීරණය කළ බව කෝවිඩ් -19 පාලනය කිරීමේ මධ්‍යස්ථානය පවසයි.
පවතින කොරෝනා තත්ත්වය හමුවේ පාසල් වසා දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. යම් පාසලකින් කොරෝනා ආසාදිතයෙකු හමු වුවහොත් මීට පෙර ක්‍රියාත්මක කළ ආකාරයට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ.