ගල්කිස්ස, අත්තිඩිය, ඉදිගහදෙනිය පාර ආසන්නයේ අත්තිඩිය අභය භූමියට අයත් ළඳු කැලෑවක් තුල සඟවා තිබී විදෙස් රටක නිෂ්පාදිත 0.30 පිස්තෝල වර්ගයේ ගිනි අවි හතරක් සහ එම ගිනි අවි සඳහා යොදනු ලබන හිස් මැගසින් අටක්  කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
ලඳු කැලෑව ආසන්නයේ මාර්ගයෙන් ගමන් ගත් පුද්ගලයෙකු යම් පාර්සලයක් සගවන ආකාරය දුටු ප්‍රදේශවාසි පුද්ගලයෙකු ඒ බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එරංග ප්‍රනාන්දු මහතාට ලබා දුන් තොරතුරක් මත මෙම ස්ථානයේ තිබී පාකිස්ථානයේ නිෂ්පාදිත 0.30 කැලිබර් වර්ගයේ පිස්තෝල හතර සහ මැගසින්  අට සොයාගත් බව පොලීසිය පැවසීය.
පසු ගියදා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම හේතුවෙන්  අත්අඩංගුවට පත්වු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරින් අතර සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සන්තකයේ මෙම වර්ගයේ පිස්තෝලයක් තිබී සොයාගත් බවත් එම නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය තොගයක් සහ මෙම ගිනි අවි 04 බඩෝවිට රජිත නොහොත් ලොකු නැමැති පුද්ගලයාට සඟවා තැබීම සඳහා ලබා දී ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇති බව අපරාධ කොට්ඨාශය පැවසීය.
අත්අඩංගුවට ගත් මෙම ගිනි අවි හතර සහ අත්අඩංගුවේ පසු වන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයා සන්තකයේ තිබී සොයාගත් ගිනි අවියත් සමාන ඒවා බවත් එම නිලධාරීන් පිරිස අත්අඩංගුවට ගැනීමත් සමග බඩෝවිට රජිත නොහොත් ලොකු නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු රටින් පළා ගොස් ඉන්දියාවේ සැඟවී සිටින බවත් පොලිසිය විසින් අනාවරණය කර ගෙන ඇති බව අපරාධ කොට්ඨාසය පවසයි.
 කලකට ඉහත දී පාකිස්ථානයේ සිට මෙම පිස්තෝල 05 සහ හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 56 ක් සමග රහසිගත මාර්ගයකින් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමග ඉන්දියාවේ සැඟව සිටින බඩෝවිට රජිත නැමැති පුද්ගලයා විසින් ඔහුගේ සමීපතමයකුට මෙම ගිනිඅවි  සගවා තබන ලෙසට ලබා දුන් දුරකථන පණිවුඩයක් මත කිසියම් පුද්ගලයෙකු විසින් මෙම ගිනි අවි සියල්ල හොඳින් ඔතා රතුපාට මල්ලක දමා කැලේට විසි කර ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවත් අපරාධ කොට්ඨාසය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය මත කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි නන්දන සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එරංග ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක නිශාන්ත, උප පොලිස් පරීක්ෂක දුනුසිංහ, මර්වින් ,පොලිස් සැරයන් 31831ගාමිණී, 61780 සඳරුවන්, පොලිස් කොස්තාපල් 69480 කුමාර, 70450 අමිල, 82631අනුරුද්ධ, 30017 අධිපත්තු, 91821 වැලිවිට, 89728 දුලිප් යන නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

More Stories