ලෝක ජනගහනයෙන් දහදෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියාව රෝගයෙන් පීඩා විඳිනවා. පෙරදී වැඩිහිටියන්ට සීමාවූ රෝගයක් වූ දියවැඩියාව අද වන විට කුඩා ළමුන් අතරත් සුලබව දකින්න පුළුවන්. මෙම තත්ත්වයට ප්‍රධානම හේතුව බවට පත්ව තිබෙන්නේ අපගේ වැරැදි ආහාර රටාවයි. එහිදි සෞඛ්‍යයට එතරම් හිත කර නොවන පිටි ආහාර සහ කෘත්‍රිම ආහාර වර්ග නිතර ආහාර වේලට එකතු කර ගැනීම දියවැඩියා රෝගී තත්ත්වයට මූලික හේතුව බවට පත්ව ඇත. මේ තත්ත්වය තුළ දියවැඩියා රෝගය ඉතා වේගයෙන් සමාජය තුළ පැතිර යමින් තිබේ. ආහාර රටාව පාලනය කිරීම මඟින් රෝගය වැලඳීම නැති කර ගැනීමටත්, දියවැඩියා තත්ත්වය පාලනය කර ගැනීමටත් හැකියාව තිබේ. මේ පිළිබඳව වෛද්‍ය ජානක වන්නකු මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

දියවැඩියාව අපේ සමාජය තුළ පැතිර ගොස් තියෙන්නේ කෙලෙසකද?

මෙරට වැඩිහිටි ජනගහනයෙන් භාගයකට වැඩි ප්‍රමාණයකට දියවැඩියාව හෝ පූර්ව දියවැඩියාව තිබෙනවා. ලංකාව ලෝකයේම වැඩිම දියවැඩියාව ප්‍රතිශතයක් ඇති රටවලින් එකක් ලෙස නම් කෙරුණා. කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල පස්දෙනෙකුගෙන් තුන්දෙනෙකුට දියවැඩියාව හෝ පූර්ව දියවැඩියාව වැලඳිලා තිබෙනවා. වඩාත් භයානක තත්ත්වය නම් ඔවුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුනට දියවැඩියාව වැලඳී ඇති බව දන්නේ නෑ. දියවැඩියා රෝගීන්ගෙන් පස්දෙනෙකුගෙන් අයෙක් බර සාමාන්‍ය මට්ටමේ සිටින නිසා බර අඩු අයට සැනසුම් සුසුම් හෙළන්න බෑ අපි අවදානමෙන් මිදුනා කියලා.

දියවැඩියාව ගැන කෙටියෙන් පැහැදිලි කරන්න?

දියවැඩියාව තත්ත්වයන් තුනක් තිබෙනවා. ඉන් පළමු මට්ටමේ දියවැඩියාව, දෙවන මට්ටමේ දියවැඩියාව සහ ගර්භණී මවුන් අතර ඇති වන තෙවැනි දියවැඩියාව ලෙසටයි. පළමු මට්මටමේ දියවැඩියාව කුඩා ළමුන් අතරයි තිබෙන්නේ.

අපි මෙතැන් පටන් දියවැඩියාව ලෙස හඳුන්වන්නේ දෙවන ගණයේ දියවැඩියාවයි. දියවැඩියාව ඇති වන ගර්භණී මවුවරුන්ට පසුකාලීනව දියවැඩියාව ඇති වීමේ වැඩි අවදානමක් තිබෙනවා.

දියවැඩියාව වැලඳෙන්නට පළමු අනතුරු හැඟවීමේ ලකුණු තිබෙනවාද?

දියවැඩියාවේ භයානකම රෝග ලක්ෂණය නම් කිසිම රෝග ලක්ෂණයක් නොමැතිව අවුරුදු ගණනාවක් සිරුර ඇතුළත ඔබේ සිරුර විනාශ කරන්න දියවැඩියාවට පුළුවන්. ඇතැම් රෝගීන් රෝගය හඳුනා ගනිද්දීම සංකූලතාවලට ලක්ව සිටිනවා. සාමාන්‍යයෙන් පළමු වරට දියවැඩියාව හඳුනා ගන්නා විට ඔබේ අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවන බීටා සෛලවලින් භාගයක්ම අකර්මණ්‍ය තත්ත්වයට පත් වෙලයි තියෙන්නේ. ඒ නිසා ඔබේ වයස අවුරුදු දහ අටට වැඩි නම් වාර්ෂිකව නිරාහාර රුධිර පරීක්ෂාවක් කර ගන්න ඒක නුවනට හුරුයි. වඩා හොඳයි නිරාහාර සීනි මට්ටම 85න් පහළ පවත්වාගෙන යන්න පුළුවන් නම්.

ඔබ සඳහන් කරන අකර්මණ්‍යතා සහ සංකූලතා පිළිබඳව පැහැදිලි කිරීමක් කළ හැකිද?

මෙහිදී අක්මාවේ තෙල් බැඳෙන රෝගය (Non Alcoholic Fatty LiverDisease = NAFLD) ගැන අවධානය යොමු කිරීම වටිනවා. ලෝකයේ මුළු ජනගහනයෙන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු NAFLD රෝගයට ගොදුරු වෙලා තියෙනවා. අපේ අසල්වැසි ඉන්දියාවේ වැඩිහිටියන්ගෙන් භාගයකට ආසන්න ප්‍රමාණයක් මේ රෝගයෙන් පෙළෙනවා. අපේ දියවැඩියාව රෝගීන්ගේ ප්‍රතිශතයත් එක්ක අපේ රටෙත් අඩුම ගානෙ භාගයකටවත් මේ රෝගය ඇති කියලා අපට අනුමාන කරන්න පුළුවන්. මේ රෝගයේත් කිසිම පැහැදිලි රෝග ලක්ෂණයක් නැහැ. ඒ වගේම අපට මේ රෝගයට දෙන්න බෙහෙතකුත් නැහැ. මොවුනට දියවැඩියාව වැලඳීමට තිබෙන අවදානම ඉතා ඉහළයි. ඒ වගේම දියවැඩියාව රෝගීන්ගෙන් භාගයක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකට NAFLD වැලඳිලා තිබෙන බවට අනුමාන කරනවා.

උසට සරිලන බර තියෙනවා නම් දියවැඩියාවෙන් ගැලවෙන්න පුළුවන්ද?

අවාසනාවකට බොහෝදෙනෙකු උසට සරිලන බරට වඩා වැඩියි. ඔවුනට දියවැඩියාව හැදෙන්න ලොකු අවදානමක් තියෙනවා. නමුත් නියමිත බර තියෙන අයගෙනුත් 20%කට පමණ දියවැඩියාව වැලඳිලා තිබෙන බවට හෙළි වෙලා තියෙනවා.

බර සාමාන්‍ය වුවත් අනවශ්‍ය ලෙස බඩ ඉදිරියට නෙරා ඒම කියන්නේ දියවැඩියාව වැලඳී ඇති බවට සැක කළ හැකි සාධකයක්. තමන්ගේ උස ප්‍රමාණයෙන් භාගයකට වඩා වැඩි ප්‍රමාණයක් බඩ වටා තිබෙනවා නම්, ඒ පුද්ගලයාට දියවැඩියා රෝගී තත්ත්වය තිබීමට ලොකු ඉඩක් තිබෙනවා.

අමතරව දියවැඩියාව ගැන තිබෙන තවත් සංඥාවක් තමයි, බෙල්ල පිටුපස දිලිසෙන කළු ලප ඇති වීම. කාන්තාවක් නම්, අසාමාන්‍ය විදිහට කුරුලෑ ඇතිවීමත් රැවුල් වැවීමක් වෙනවා නම්, එයත් දියවැඩියා ඇතිවීමේ ලක්ෂණයක් වෙන්න පුළුවන්.

පිරිමින්ගේ ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙන්න පුළුවන්. ලිංගික ප්‍රදේශ ආශ්‍රිතව පුස් වර්ග ඇති ‍ෙවනවා. රුධිර පීඩනය වැඩි නම්, අවධානයෙන් සිටින්න ඕනෑ. නිරාහාර සීනි ප්‍රමාණය සියය ඉක්මවා යන අයට රෝගය වැලඳීමේ අනතුරක් තිබෙනවා.

දියවැඩියා රෝගය වැළැක්වීමට අපට මොනවද කරන්න පුළුවන්?

දියවැඩියාව වැලඳෙන දහදෙනෙකුගෙන් අට දෙනෙකුටම මෙය පහසුවෙන් වළක්වා ගන්න පුළුවන්.

ස්වභාවික ආහාර අනුභවය මඟින් මේ රෝගි තත්ත්වය වළක්වා ගැනීම පහසු වෙනවා. කෘත්‍රිම ආහාර වර්ග, ෆැක්ටරිවලින් සාදන ආහාර වර්ග, කල් තබා ගැනීම සඳහා විවිධ ද්‍රව්‍ය යෙදූ ආහාර වර්ග, රසකාරක ආහාර වර්ග, බිස්කට් වර්ග, පිටි කිරි වර්ග, කිරි වර්ග ඇතුළු ස්වභාවික නොවන ආහාරවලින් වැළකෙනවා නම්, අපට දියවැඩියා රෝගයෙන් ද වැළකෙන්න පුළුවන්කම තිබෙනවා. එපමණක් නොවෙයි, පැණි බීම වර්ග, පැණි ආහාර, පාන් පිටි මිශ්‍ර බේකරි ආහාර මඟින් ද රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමට පුළුවන්. ඒ වගේම පොල් තෙල් හැර විවිධ නම්වලින් එන තෙල් වර්ග, මාගරින් වර්ගත් දියවැඩියාවට රුකුල් දෙන ආහාර වර්ග විදිහට නම් කිරීමේ වරදක් නැහැ.

අඩුම ගාණේ අපි මීට අවුරුදු පනහකට කලින් ආහාර ගත් ආකාරයට ආහාර ගන්න හුරුවෙන්න ඕනෑ. අපේ ආච්චිලා, සීයලා ආහාර විදිහට ගත් සාම්ප්‍රදායික ආහාර හැර පසුකාලීනව පැමිණි සියලු ආහාර, රුධිරයේ සීනි තත්ත්වයට නුසුදුසු බව සඳහන් කරන්න පුළුවන්.

ආහාර ගන්න වෙලාව දියවැඩියාව හැදෙන්න බලපානවද?

අපේ ආහාර රටාව තුළ ආහාර වේල් අතර පරතරය අඩුයි. අප නිතරම කෙටි කෑම වේල් ගන්නවා. ප්‍රධාන ආහාර වේලකට පසුව ඊළඟ ආහාර වේල දක්වා අඩුම ගාණේ පැය හතරක්වත් තබා ගන්න උත්සාහ කරන්න. කෙටි ආහාර වේල්, පොඩි බඩගින්නට විස්කෝතු කන එක නවත්තන්න. උදේ ආහාර වේලට පෙර බොහෝ අය බිස්කට් කාලා කිරි තේ එකක් බොනවා. ඇත්තෙන්ම ඒක අනවශ්‍ය දෙයක්. උදේට ඇල් වතුර වීදුරුවක් බොන්න පුරුදුවන්න. උදේ ආහාරය පුළුවන් තරම් පමා කරන්න. පරාසය උදේ නමය පහුවන තුරුවත් පමා කරන්න පුළුවන් නම් හරිම අගෙයි. දිවා ආහාරය දවල් දොළහ දෙක අතර ගන්නට පිළිවන්. ඒ වගේම රාත්‍රි ආහාරය බිං කළුවර වැටෙන්න කලින් ගන්න උත්සාහ ගන්න. රාත්‍රි ආහාරය පමාවීම ලෙඩ ගොඩකට අතවැනීමක්.

ආහාර පාලනය ආහාර වේල් ප්‍රමාණය කළමනාකරණය කිරීම මඟින් දියවැඩියා රෝගී තත්ත්වයට භාජනය වීමේ අනතුර වළක්වා ගැනීමට හැකියාව තිබෙනවා නේද?

දිනකට ඔබ ලබා ගන්නා ආහාර වේල් ප්‍රමාණය තුනකට වඩා නොවැඩි විය යුතුයි. දෙකක් හෝ එකක් වනවා නම් තවත් හොඳයි. මෙය අලුත් දෙයක් නොවෙයි. බුදුරජාණන් වහන්සේ පවා අනුදැන වදාළේ ආහාර වේල් දෙකක් අනුභව කරන ලෙසටයි. උන්වහන්සේ වැළඳුවේ දිනකට එක ආහාර වේලක් පමණයි. මේ විදිහට පාලනයක් ඇතිව ආහාර රටාව අනුගමනය කරනවා නම්, දියවැඩියාව ඇති වීමේ අනතුර ඈත් කරන්නට පුළුවන්. උදේ ආහාරය ප්‍රමාණයෙන් අඩු කරලා සහ මඳින් මඳ පමා කරලා අතෑරලාම දාන්න. දිවා ආහාරය සහ සවස ආහාරය පමණක් ගන්න. සාමාන්‍යයෙන් වැඩුණු අයෙකුට දිනකට ආහාර වේල් දෙකක් හොඳටම ප්‍රමාණවත්. අපේ පැරැන්නන් සහ වර්තමානයේ පවා වැදි ජනතාව වේල් දෙකයි ආහාරයට ගන්නේ.

දියවැඩියාව ඇති වීම වැළැක්වීම සඳහා අපේ නින්ද ආශ්‍රිත ක්‍රියාකාරකම් වෙනස් වෙන්න ඕනෑ කොහොමද?

රාත්‍රි දහයට පෙර නිදා ගන්නට උත්සාහ ගන්න. අවම වශයෙන් දිනකට පැය හතක නින්දක් අවශ්‍ය වෙනවා. උදෑසන පහට පෙර අවදි නොවී ඉන්නවා නම් වඩාත් සුදුසුයි. උදේ පැය භාගයක් පමණ හිරු එළියට නිරාවරණය විය යුතුයි. එමඟින් අපට විටමින් ඩී උදා සූර්ය ආලෝකයෙන් ලබා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. සිදු කර තිබෙන සමීක්ෂණ මඟින් බොහෝ දියවැඩියා රෝගීන්ට විටමින් ඩී ඌනතා තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව වඩාත් අපි සැලකිලිමත් වෙන්න ඕනෑ.

අපේ ආහාර සංයුතිය දියවැඩියා රෝගයට සෘජුවම බලපානවා නේද?

දියවැඩියාව රෝගය හඳුනා ගන්නේ සහ පාලනය කරන්නේ රුධිරයේ සීනි මට්ටම මැනීම හරහායි. ඉතින්‍ රුධිරයේ ග්ලුකෝස් මට්ටම ඉහළ පහළ යන්න ප්‍රධාන හේතුව අපේ ආහාරයේ තියෙන සීනි, පාන්පිටි, බත්, ඇට වර්ග, අල, එළවළු සහ පලතුරු.

මේවායේ අඩංගු වන්නේ පිෂ්ටය හෝ කාබෝහයිඩ්‍රේට්. ධාන්‍ය, ඇට, අල, පලතුරු, එළවළු වර්ගවල පිෂ්ටය පමණයි අඩංගු. රතු බත්, සුදු බත්, සෑම එකකම මූලික වශයෙන් තිබෙන්නේ පිෂ්ටය පමණයි. ඒ නිසා මෙවැනි පිෂ්ටය අධික ආහාර පිඟානෙන් හතරෙන් එකක් දක්වා අඩු විය යුතුයි. එමඟින් දියවැඩියාව ඇති වීමට තිබෙන අනතුරුදායක අවස්ථා මෙන්ම දියවැඩියාවට හේතුවත් වන තරබාරුව, බඩ නෙරා ඒම වැනි රෝග ලක්ෂණත් පාලනය කර ගැනීමට පුළුවන්.

සෞඛ්‍යයට හිතකර විදිහට අප ආහාර ලබා ගන්නා සැලසුම මොන වගේ විය යුතුද?

දියවැඩියාව පාලනයට නම් පිෂ්ටය ප්‍රමාණය පුළුවන් තරම් අඩු කිරීම තමයි කළ යුතුව තිබෙන්නේ. අද අපි ආහාරයට ගන්නා කෑම පිඟානට අපි කට වහරට කියන්නේ බත් පිඟාන කියලානේ. ඇත්තෙන්ම අපේ කෑම පිඟානේ හතරෙන් තුනක්ම තියෙන්නේ බත්. නමුත් පිෂ්ටය සහිත ආහාර ප්‍රමාණය පිඟානෙන් හතරෙන් එකකට සීමා විය යුතුයි. එනම් පිඟානෙන් හතරෙන් එකක් පමණක් බත්, ධාන්‍ය වර්ග, අලවර්ග, පලතුරු වර්ග, එළවළු වර්ග බෙදා ගත යුතු වනවා.

පිඟානෙන් හතරෙන් තුනකට වඩා, මස්, මාළු, පොල්සම්බෝල, බිත්තර, මීකිරි, අලිගැටපේර, බටර්, පොල්තෙල් අඩංගු විය යුතුයි. අපට ජීවත් වෙන්න බත් ඇටයක්වත් ඕන නෑ. ඉක්මනින්ම දියවැඩියාව සමනය කරගන්න ඕන නම් පොල්සම්බෝල, බිත්තර, මීකිරි, මාළු, මස්, පොල්තෙල්, අලිගැටපේර, බටර් පමණක් ආහාරයට ගන්න.

මේ වගේ ආහාර රටාවකින් හෘද රෝග වැලඳෙන්නේ නැතිද?

හෘද රෝගයක් වැලඳෙන්න තියෙන ප්‍රධාන අවශ්‍යම සාධකය තමා සීනි මට්ටම සහ දියවැඩියාව. ඊට අමතරව ට්‍රයිග්ලිසරයිඩ් වැඩිවීම සහ HDL අඩුවීම, ස්තුලතාවය, අධිරුධිර පීඩනය, දුම් පානය, මේ සියල්ල මේ ආහාර රටාව මඟින් ප්‍රශස්ත ලෙස පාලනය වනවා.

ළමුන්ටත් මෙවැනි ආහාර රටා පුරුදු කිරීම මඟින් අනාගතයේ ඇති විය හැකි දියවැඩියා අනතුරු පාලනය කිරීමට හැකිද?

අවුරුදු හයට වඩා වැඩි දරුවන්ගේ ආහාර වේල්වල පැණි රස, පිෂ්ටය සහිත ආහාර අවශ්‍ය නැහැ. දරුවන්ගේ වර්ධනයට ප්‍රෝටීන් සහ මේදය අවශ්‍ය කරනවා. විටමින් වර්ග වඩාත් බහුලව තිබෙන්නේ මස්, මාළු, බිත්තර මීකිරි කුඩා දරුවන්ගේ මොළය වර්ධනය සඳහා සුදුසුයි. මේ පෝෂණ ගුණය ඇති ආහාර බහුල ලෙස ආහාරයට ගැනීම සුදුසුයි.

ඒ වගේම මෙමඟින් දරුවන්ට අවුරුදු දොළහෙන් පසු ඇති විය හැකි දියවැඩියා තත්ත්වයෙන් වැළැක්වීමට පුළුවන්කම තිබෙනවා.

උදිත ගුණවර්ධන

ඡායාරූප – වාසිත පටබැඳිගේ

dinamina

More Stories