spa

මහරගම නගර සභා බල සීමාවේ ආයුර්වේද සම්බාහන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කරන (ස්පා) මධ්‍යස්ථාන පන්සිය හැට අටක් දැනට  පවත්වාගෙන යන අතර ඉන් ස්ථාන රැසක් අවිධිමත් ලෙස පවත්වාගෙන යාම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ලවී ඇති බව මහරගම නගර සභාවේ (ශ්‍රී .ල.නි.ප ) නාගරික මන්ත්‍රී චන්ද්‍රිකා ද සොයිසා මහත්මිය පැවසුවාය.

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් නීත්‍යනුකූල අවසරයක් ලබාගත යුතු වුවත් ඉන් ස්ථාන 564 එම අවසරය ලබාගෙන නොමැති බව මන්ත්‍රීවරිය වැඩිදුරටත් කියා සිටී.

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ස්පා පුවරු ප්‍රදර්ශනය කරමින් මහරගම නගර සභා සීමාව තුළ දැනට මධ්‍යස්ථාන 568 පවත්වාගෙන යන අතර තලවතුගොඩ එකමුතු මාවතේ සිට කලල්ගොඩ දක්වා වූ කිලෝ මීටර් දෙකක ප්‍රදේශයේ ස්ථාන 33ක පිහිටා ඇති බව පැවසේ.

මේවා ආරම්භ කිරීමට පෙර නගර සභාවෙන් වෙළද බලපත්‍රයක් ලබාගත යුතු වුවත් එම බලපත්‍රය හෝ ලබාගෙන නොමැති බව ද පැවසේ.

වෙනත් පළාත් වලින් පැමිණී කාන්තාවන් සහ පුද්ගලයන් එක්ව මෙම ස්ථාන පවත්වාගෙන යන අතර ඉන් ප්‍රදේශයේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී බවත් පවුල් ආරවුල් පවා හටගෙන ඇති බවත් ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති.

මහරගම කොට්ටාව තලංගම හා මිරිහාන පොලිස් ස්ථාන නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කිරීම ප්‍රදේශයේ ජනතාගේ විමතියට ලක්ව ඇති බව ද චන්ද්‍රිකා ද සොයිසා මන්ත්‍රීවරිය කියා සිටි.

මේ සම්බන්ධයෙන් නගර සභාවට දැඩි විරෝධයක් එල්ල වී ඇති බැවින් නගර සභාව වහා මැදිහත් වී පොලීසිය සමඟ එක්ව මෙම ස්ථාන වටලා බලපත්‍ර රහිත ස්ථාන ඉවත් කොට නීත්‍යනුකූල ස්ථාන පමණක් පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නාගරික මන්ත්‍රී චන්ද්‍රිකා ද සොයිසා මහත්මිය ඉකුත්දා පැවති මහරගම නගර සභාවේ මාසිත මහා සභා රැස්වීමේ දී ඉල්ලා සිටියාය.

More Stories