derana news today

අස්වැසුම පළමු අදියර යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලැබූ ලක්ෂ 18කට අධික ප්‍රතිලාභීන් අතරින්, බැංකු ගිණුමක් මෙතෙක් විවෘත නොකිරීම සහ ජාතික හැඳුනුම්පතේ ගැටලු සහිත ලක්ෂ දෙකකට ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකිවී ඇතැයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න පැවැසීය.

අස්වැසුම දෙවන අදියර යටතේ නව අයැදුම්කරුවන්ගේ තොරතුරු සංගණනය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමට ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (22 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී සභාපතිවරයා මේ බව කියා සිටියේය.

පළමු වටයේ ප්‍රතිලාභීන් අතරින් 135,000 ක් මෙතෙක් බැංකු ගිණුම් විවෘත කර නොමැති බවත්, ඉතිරි ප්‍රතිලාභීන්ට ජාතික හැඳුනුම්පත සම්බන්ධ ගැටලු පවතින බවද ඔහු කීවේය. කෙසේ නමුත්, මෙම ප්‍රතිලාභීන් අදාළ බැංකු ගිණුම් විවෘත කිරීමෙන් පසුව අදාළ ප්‍රතිලාභ සියල්ල ගෙවීමට සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය කටයුතු කරන බව ද සභාපතිවරයා කීවේය.

වයස්ගත සහ ආබාධිත පුද්ගලයන් රැසක් මෙලෙස බැංකු ගිණුම් විවෘත කර නොමැති බවත්, නිලධාරීන් ඔවුන් දැනුවත් නොකිරීම ද බැංකු ගිණුම් විවෘත නොකිරීමට හේතුවී ඇති බවත් අනාවරණය වී ඇත.

ඇතැම් ප්‍රතිලාභීන්ගේ ජාතික හැඳුනුම්පත් අංක පරීක්ෂා කිරීමේදී එම අංකය සහිත තවත් පුද්ගලයකු සිටින බවට තොරතුරු අනාවරණය වීම නිසා ප්‍රතිලාභ නිකුත් කිරීමට නොහැකිවී ඇතැයි ද එම මණ්ඩලය සඳහන් කරයි.

අස්වැසුම දෙවන අදියර සඳහා අයැදුම්පත් 455,697 ක් ලැබී තිබෙන බවත්, ඉන් වැඩිම අයැදුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇත්තේ වතුකරය ආශ්‍රිත නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් බවත් සභාපතිවරයා කීවේය. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අයැදුම්පත් 45,545 ක්ද,බදුල්ල දිස්ත්‍රික්කයෙන් අයැදුම්පත් 40,632 ක්ද ලැබී තිබේ. අඩුම අයැදුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 2,047 කි.

දෙවන අදියර යටතේ තොරතුරු සංගණන කටයුතු මේ සතියේ ආරම්භ කරන බවත් එම කටයුතු මෙමස 31 වැනිදා අවසන් කෙරෙන බවත් සභාපතිවරයා පැවැසුවේය.

මෙම තොරතුරු සංගණනය සඳහා සමීක්ෂණ නිලධාරීන් යොදා ගන්නා බවත්, ඔවුන් ජංගම දුරකථන යෙදුමක් හරහා අදාළ තොරතුරු රැස්කර සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ පොදු දත්ත පද්ධතියට බාගත කරන බවත් ඔහු කීවේය.

මෙහිදී අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථික මට්ටම, වත්කම්, පවුලේ ජන විකාශය ආදී කාරණා සම්බන්ධව සොයා බැලෙන බවත්, තොරතුරු සංගණනයේදී වැරදි තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට විරුද්ධව නීතිමය කටයුතු කරන බවත් එම මණ්ඩලය සඳහන් කරයි.

දෙවන වටයේ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබන පුද්ගලයන් තෝරා ගැනීමෙන් පසුව, අදාළ ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් සහ එකඟතාව අනුව කටයුතු කරන බවද සභාපතිවරයා කීවේය.

අස්වැසුම පළමු අදියරේ ප්‍රතිලාභීන්ගේ නැවත දත්ත සමීක්ෂණයක් ඉදිරි කාලයේදී සිදු කිරීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් පැවැසීය.

Similar Posts