ආමිසයට වඩා ප්‍රතිපත්ති පූජාවට මූලිකත්වය දී සම්බුදු තෙමඟුල සමරන ලෙස ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බව මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසති. ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවාසී ජනතාව ඉතා අසීරු කාලවකවානුවක් පසුකරමින් පැමිණ තිබෙන බැවින් බෞද්ධ ජනතාව ආමිස පූජාවන් සඳහා අනර්ථ ලෙස මුදල් වියදම් කිරීමෙන් බැහැරවීම වැදගත්යැයි ද උන්වහන්සේ කීහ.
මෙවර වෙසක් සැමරුම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අනුනායක හිමියෝ මෙසේ ද පැවැසූහ. ශ්‍රී ලංකාවාසී බෞද්ධ, අබෞද්ධ සියලු ජනතාව යහපත් දේ හැකි ආකාරයට අනුගමනය කරමින් වෙසක් සමය සැමරීමට අධිෂ්ඨාන කරගත යුතුයි. එහිදී ප්‍රතිපත්ති හා ආමිස ලෙස පූජා විධි දෙකක් අනුගමනය කළ හැකි වුවත් වඩාත් වැදගත් වන්නේ ප්‍රතිපත්ති පූජාවයි.ශීල භාවනාව, පන්සිල්,අටසිල් හා දසසිල් සමාදන්ව ශීලය රැකගෙන වෙසක් දිනය සැමරීම තමයි වඩා වැදගත්. ඒ අතරතුර ආමිස පූජාව පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුයි. දන්පැන් පූජා කිරීම, දන්සල් පැවැත්වීම, දුගී මගී යාචකාදීන්ට සැලකීම වගේ දේවල් සිදු කිරීම වැදගත්. මේ කාල පරාසයේ අප ගත කරන ජීවිතය ඉතාමත් අමාරු එකක්. ආර්ථික අතින් අමාරු කාලයක් ගත කරන නිසා කෑමබීම මිලට ගැනීම සම්බන්ධයෙන් පවා ගැටලු මතුවෙනවා. එවැනි පසුබිමක විශාල තොරණ ප්‍රදර්ශනය කිරීම, දහස් ගණන් සංඝරත්නයට දන්පැන් පිළිගැන්වීම එතරම් උචිත නොවන බව සිහිපත් කළ යුතුයි.
ආර්ථික අතින් විශාල ගැටලුවලට මුහුණදීමට සිදුව තිබෙන අවස්ථාවක මුදල් වියදම් කිරීම අනර්ථ ලෙස නොකළ යුතුයි. සෑම දෙයක්ම සැලකිල්ලෙන්, සකසුරුවමින් කිරීම වැදගත්. බණ භාවනා කටයුතු සඳහා යොමුවීම තමයි වැදගත්.ධර්ම සාකච්ඡා,ධර්ම දේශනා ප්‍රධාන විය යුතුයි. සිදුහත් කුමාර උප්පත්තිය, සම්බුද්ධත්වය හා පරිනිර්වාණය තෙමඟුල සිහිපත් කරන මේ වකාවනුවේ සියලු දෙනාගේ ක්‍රියාකලාපය යහපත් විය යුතුයි. මත්ද්‍රව්‍ය භාවිතය අද විශාල සමාජ ප්‍රශ්නයක් බවට පත්වෙලා. මේ නිසා ගැටුම් ඇතිවීමත් ඉහළ ගිහින්. මේවා තේරුම්ගෙන වෙසක් සමය ගත කිරීම ඉතාම වැදගත්. බුදු න් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන මේ අවස්ථාවේ අපේ චරිත සංවර්ධනය කර ගනිමින් අන් අයටත් ඒ සඳහා රුකුල්දීම වැදගත් බව සිහිපත් කරන්න කැමතියි.
බුද්ධ චරිතයේ ඉගැන්වෙන මෛත්‍රි කරුණා ගුණදහම් ජීවිතයට එක් කරගනිමු
ආධ්‍යාත්මික ආචාරශීලි මිනිසකු නිර්මාණය කිරීමට උතුම් වෙසඟේ අදිටන් කරගනිමු
ජනාධිපති රනිල් වික්‍රමසිංහ
වෛශාඛ්‍ය මංගල්‍යය යනු සම්බුදු රජාණන් වහන්සේගේ උප්පත්තිය,සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය අනුස්මරණය කරන ලෝක බෞද්ධ ජනතාවගේ පූජනීය දිනයකි.ආමිස පූජා මෙන්ම ප්‍රතිපත්ති පූජාවන්ට මුලිකත්වය දෙමින් ශ්‍රී ලාංකේය ජනතාව මෙන්ම දෙස් විදෙස් බෞද්ධ සිව් වනක් පිරිස ඉතා බැතියෙන් වෛශාඛ්‍ය මංගල්‍යය සමරන්නේ සම්බුද්ධ පූජාවක් ලෙස සලකමිනි.
බුද්ධත්වය උදෙසා බුදුන් වහන්සේට තිබූ සම්මා වීර්යය,අප සැවොම මේ අසීරු මොහොතේ රටක් ලෙස ඇති කරගත යුත්තේ ‘යහපත් හෙට දිනක් වෙනුවෙන් අද දවස කැප කිරීමට “මත්තාසුඛ පරිච්චගා – පස්සෙ චෙ විපුලං සුඛං” ලෙස කර ඇති බුද්ධ දේශනාව පදනම් කරගෙනය.
“සබ්බත්ථ සම්මානසො” සියල්ලන්ට සමානව සැලකීමේ සමානාත්මතා සම්බුද්ධෝපදේශනය අද දින අප සිහි කළ යුතුවාක් මෙන්ම රටක් ලෙස එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට වග බලා ගැනීම ද මේ වෙසක් දා බුදුන් උදෙසා පිදිය හැකි මහඟු බුද්ධ පූජාව වන්නේය.
ජාති, ආගම්, කුල භේද මෙන්ම පක්ෂ පාට නොතකා එකාවන්ව එක්ව,ගොඩනඟමින් ඇති රට සුවපත් කරන්න අප සැවොම පෙළ ගැසිය යුතුය.ලිච්ඡවි රාජ ධර්මය ඒ සඳහා අපට මඟ පෙන්වනු ඇත.
ශීඝ්‍ර ලෙස භෞතිකව සංවර්ධනය කරා පිය මනින ලෝකයේ ආකල්පමය සංවර්ධනයකින් යුත් ආධ්‍යාත්මික ආචාරශීලි ‘මිනිසකු‘ නිර්මාණය කර ගැනීමට මේ වෛශාඛ්‍ය මංගල්‍යයේ ඇති කර ගත යුතු ප්‍රමුඛතම අරමුණ බව සිහිපත් කරමින් සැමට පින්බර වෙසක් මංගල්‍යයකට ශුභාශිංසන එක් කරමි.
වෙසක් උත්සවය කියන්නේ විනෝද සැණකෙළියක් නොවේ
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමි
දාන, සීල, භාවනා ඇතුළු ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් පින් සිත් පුබුදුවා ගන්නා ලෙස අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටින බව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ සඳහන් කළහ.
වෙසක් පොහොයේ ඇති වටිනාකම් කිලිටි නොකොර සිද්ධස්ථාන වැඳ පුදාගෙන පින් සිත් පුබුදුවා ගන්නා ලෙස සැදැහැවතුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ද උන්වහන්සේ සඳහන් කළහ.
දාන, සීල, භාවනා මෙන්ම ප්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය දෙමින් පූජා නගරයේ වෙහෙර විහාරස්ථානවල ආගමික වතාවත් සිදු කෙරෙන අතර වෙසක් පොහොය දිනද ආමිස පූජා බහුල වශයෙන් සිදු කෙරෙන බැවින් එම පූජා වෙසක් පොහොයේ මූලික අරමුණුවලින් බැහැරව සිදු නොකරන ලෙසත් මෙය පුණ්‍ය උත්සවයක් මිසක විනෝද සැණකෙළියක් නොවන බවද නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!