ඇමසන් වනාන්තරය යනු බ්‍රසීලය, බොලිවියාව, පේරු, ඉක්වදෝරය, කොලොම්බියාව, වෙනිසියුලාව, ගයනාව සහ සුරිනාමය වැනි වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් අටක් සහ ප්‍රංශයේ එතෙර භූමි ප්‍රදේශයක් වන ප්‍රංශ ගයනාව පුරා විහිදෙන විශාල ජෛව විවිධත්වයකින් යුතු වනාන්තරයකි.

ගෝලීය පාරිසරික සමතුලිතතාවයේ සහ ජෛව විවිධත්වයේ අත්‍යවශ්‍ය අංගයක් වන ඇමසන් වැසි වනාන්තරය මානව ක්‍රියාකාරකම් නිසා ගිනි ගනිමින් පවතින අතර, ගෝලීය ප්‍රජාවගේ අනාගතය අනතුරේ හෙළීමට එය ඉවහල් වී ඇත.

Sucumbíos සහ Orellana පළාත් පිහිටා ඇත්තේ ඉක්වදෝරයේ ඇමසන් කලාපයේ ය. ඇමේසන් වැසි වනාන්තරයට එම ප්‍රදේශ සමීප වන අතර Sucumbios පළාත ඉක්වදෝරයේ ඊසානදිග කොටසේ, කොලොම්බියාවේ මායිම අසල පිහිටා ඇත. එය උතුරු ඇමසන් ද්‍රෝණියේ කොටසක් වන අතර එය ඇමසන් වැසි වනාන්තරයට පිවිසුම් මාර්ගයක් ලෙස සැලකේ. මෙම පළාතට නිවර්තන වැසි වනාන්තරවලින් ආවරණය වන ප්‍රදේශ ඇතුළත් වන අතර එය ඇමසන් පරිසර පද්ධතියේ ප්‍රධාන කොටසකි. Orellana පළාත පිහිටා ඇත්තේ ඉක්වදෝරයේ නැගෙනහිර කොටසේ, ඇමසන් ද්‍රෝණියේ මධ්‍යම ප්‍රදේශයේ ය. මෙම පළාත ඇමසන් වැසි වනාන්තරයෙන් සැලකිය යුතු කොටසක් ආවරණය වන අතර Orellana පළාත ඇමසන් කලාපයේ ජෛව විවිධත්වය සහ පාරිසරික කාර්යයන් සඳහා තීරණාත්මක වේ. මෙම පළාත් දෙකම ඇමසන් වැසි වනාන්තරයේ අනිවාර්ය කොටස් වන අතර, එහි පොහොසත් ජෛව විවිධත්වය සහ ගෝලීය දේශගුණ පද්ධතියේ තීරණාත්මක භූමිකාව සඳහා විශාල මෙහෙයක් ඉටු කරයි. තෙල් නිස්සාරණය හා ගෑස් දැල්වීම හා සම්බන්ධ පාරිසරික ගැටළු තිබෙනුයේද මෙම පළාත් ආශ්‍රිතවය.

ඉක්වදෝරයේ තෙල් නිස්සාරණයේදී භාවිතා කරන ගෑස් ගිනිදැල් මිනිසුන්ට සහ පරිසරයට බරපතල හානියක් සිදු කරයි. මෙම හානිකර ක්‍රියාව නතර කරන ලෙස ඉල්ලා උසාවි තීන්දුවක් ලබා දී තිබියදීත්, ගෑස් ගිනිදැල් දිගටම ඇවිලෙමින් තිබීම අර්බුදය උග්‍ර වීමට හේතුවක් වී ඇත.

ගෑස් දැල්වීම යනු තෙල් නිස්සාරණය හා සම්බන්ධ ස්වාභාවික වායුව දහනය කිරීමයි. ගෑස් ගිනිදැල් යනු එසේ තෙල් කැණීමේදී නිපදවන අතිරික්ත ස්වාභාවික වායුව, දහනය කරන උස තීරු වේ. ගෑස් ගිනිදැල් කාබන් ඩයොක්සයිඩ් සහ මීතේන් වැනි වායූන් විශාල ප්‍රමාණයක් පරිසරයට මුදා හරිමින් ගෝලීය උණුසුම ඉහළ යාමට දායක වේ. ගෑස් ගිනිදැල් දේශගුණයට පමණක් නොව සෞඛ්‍ය කෙරෙහිද බරපතල අවදානම් ඇති කරයි. මෙම ගිනිදැල් අවට වෙසෙන ප්‍රජාවන්ට දැඩි සෞඛ්‍ය ගැටලු ඇති කරයි.

1993 නොවැම්බර් 3 වන දින, ඉක්වදෝරියානු ඇමේසන්හි ආදිවාසී ජනතාව සහ ගොවීන් පිරිසක් පාරිසරික අපරාධ සම්බන්ධයෙන්, ලොව බලවත්ම ජාත්‍යන්තර තෙල් සමාගමක් වන ටෙක්සාකෝ සමාගමට එරෙහිව නඩුවක් ගොනු කළහ. ඒ මොහොතේ, ටෙක්සාකෝ සමාගම නිසා පීඩාවට පත් වූ ජනතාවගේ සංගමය නිල වශයෙන් නිර්මාණය කරන ලදී. ටෙක්සාකෝ සමාගම නිසා පිඩාවට පත් ජනතාවගේ සංගමය විසින් කරන ලද අධ්‍යයනයකින් 2018 සහ 2022 අතර තෙල් නිපදවන ප්‍රදේශවල විවිධ ආකාරයේ රෝගීන් බහුලව සොයාගෙන ඇත. මෙම ගිනිදැල් වාතය සහ ජලය අපවිත්‍ර කරන විෂ ද්‍රව්‍ය විමෝචනය කරයි. එය සෞඛ්‍ය ගැටළු වලට මග පාදයි.

2021 සැප්තැම්බර් මාසයේදී ඉක්වදෝරයේ පළාත් අධිකරණයක් තෙල් සමාගම්වලට නියෝග කළේ මාස 18ක් ඇතුළත විශේෂයෙන්ම Sucumbíos සහ Orellana පළාත්වල ගෑස් දහනය කිරීම නතර කරන ලෙසයි. තම සෞඛ්‍යය හා පරිසරය ගැන දැඩි සැලකිල්ලක් දැක්වූ තරුණියන් නව දෙනකු විසින් ගොනුකළ නඩුවකින් පසුව මෙම තීන්දුව අධිකරණය විසින් ලබා දී ඇත. කෙසේ වෙතත්, ගෑස් දහනය කිරීම නතර කළ යුතු අවසාන දිනය මාර්තු මාසයේදී තිබූ අතර, අධිකරණ නියෝගද නොතකා මේ වන තෙක් ගෑස් ගිනිදැල් අඛණ්ඩව දැල්වෙමින් පවතී. ගෑස් දහනය නතර කළ යුතුව තිබූ දිනෙන් පසුව මේ දක්වා ගෑස් ගිනිදැල්වීම වැඩි වී ඇති අතර, එය 2021 වසරේ සිට මේ දක්වා 447 සිට 475 ක් තෙක් ඉහළ ගොස් ඇත.

උසාවියේ තීන්දුව තිබියදීත්, එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ඉක්වදෝර රජය අපොහොසත් වී ඇත. බලශක්ති අමාත්‍යාංශය සහ අනෙකුත් බලධාරීන් තර්ක කරන්නේ ගෑස් දැල්වීම නැවැත්වීම රටේ ආර්ථිකයේ ප්‍රධාන කොටසක් වන තෙල් නිෂ්පාදනයට හානි කළ හැකි බවයි. කෙසේ වෙතත්, ගෑස් දැල්වීම ඇත්ත වශයෙන්ම තෙල් නිෂ්පාදන අනුපාතයට බලපාන්නේ නැත. එය හුදෙක් අතිරික්ත වායුව බැහැර කිරීමට ලාභදායී ක්රමයකි.

ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙන්නේ ගෑස් දැල්වීමෙන් වාර්ෂිකව ගෑස් ඝන මීටර් බිලියන 140ක් පමණ අපතේ යන බවයි. දේශීය අවශ්‍යතා සපුරාලීම සඳහා ගෑස් භාවිතා කළ හැකි බැවින් මෙය සැලකිය යුතු අලාභයකි. තෙල් සහ ගෑස් ආශ්‍රිත නිෂ්පාදන සමාගමක් වන Petroamazonas හි හිටපු සභාපති Ítalo Cedeño ඇස්තමේන්තු කර ඇත්තේ ඉක්වදෝරයේ ගෑස් ගිනි තැබීම හේතුවෙන් වසරකට ඩොලර් මිලියන 500ක් පමණ වටිනා ස්වභාවික වායුව අහිමි වන බවයි.

ඉක්වදෝර ආණ්ඩුවේ අඛණ්ඩ අකර්මන්‍යතාවය පිළිගත නොහැකිය. ඉක්වදෝර රාජ්යය එහි ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ඇමසන් වනාන්තරය ආරක්ෂා කිරීමට අසමත් වේ. සමාජ ක්‍රියාකාරීන් සහ පීඩාවට පත් ප්‍රජාවන් උසාවි නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා රජයට බල කරමින් සිටිති. මෙයට අනුකූල නොවන නිලධාරීන්ට දෝෂාභියෝග ගෙන ඒම සහ මානව හිමිකම් පිළිබඳ අන්තර්-ඇමරිකානු අධිකරණය වෙත නඩුව ගෙනයාම වැනි අනෙකුත් ක්‍රියා මහජනතාවගේ උත්සාහයන් අතරට ඇතුළත් වේ.

ඉහත තීරණාත්මක හදිසි තත්ත්වයන් සඳහා ගත යුතු පියවර කිහිපයක් ජනතාව ඉක්වදෝර රජයෙන් ඉල්ලා සිටී.

1. ගෑස් දැල්වීම වහාම නවත්වන්න: මිනිසුන්ගේ සෞඛ්‍යය සහ පරිසරය ආරක්ෂා කිරීම සඳහා විශේෂයෙන් ජනාකීර්ණ ප්‍රදේශ අසල ඇති ගෑස් ගිනිදැල් ඉවත් කරන්න.

2. පිරිසිදු බලශක්තියට කැපවීම: හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සහ තිරසාර සංවර්ධනයට සහාය වීම සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත සංක්‍රමණය වෙන්න.

3. නෛතික බැඳීම්වලට ගරු කිරීම: පීඩාවට පත් ප්‍රජාවන් සඳහා යුක්තිය සහතික කිරීම සඳහා අධිකරණ තීන්දුව සහ ජාත්‍යන්තර දේශගුණික ගිවිසුම්වලට සම්පූර්ණයෙන්ම අනුකූල වන්න.

ඇමසන්හි අනාගතය වෙනුවෙන් සටන් කරන නිර්භීත තරුණ ක්‍රියාකාරීන් කැපවීම සහ ධෛර්යය පිළිබඳ ආදර්ශමත් සේවයක් ඉටු කරනු ලබන අතර, දේශගුණික විපර්යාස සහ මානව හිමිකම් ආමන්ත්‍රණය කිරීම සඳහා ගෝලීය ක්‍රියාමාර්ගවල හදිසි අවශ්‍යතාවය ඔවුන්ගේ අරගලය ඉස්මතු කරයි. ඒ අනුව ඉක්වදෝර රජය වගකීමෙන් ක්‍රියා කිරීමටත්, ඇමේසන් වැසි වනාන්තරය සහ ඒ ආශ්‍රිතව වෙසෙන ජනතාවගේත් සමස්ථ ගෝලීය ප්‍රජාවගේත් යහපත සඳහා මෙම ගෑස් ගිනිදැල් අවසන් කිරීමත් කළ යුතුව ඇත.

සටහන – Srimal DC

aitihya

More Stories