keheliya

අවශ්‍යතාවය සහිත  සියලු පුරවැසියන්ට ඉදිරි මාස තුන තුළදී කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය එන්නත් ඇණවුම් කිරීම සිදුකර ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති කොරෝනා පාලන හා ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එන්නත් මිලදී ගැනීම සඳහා මුදල් නොමැති බවට ඇතමුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බව කී අමාත්‍යවරයා, ලොව රටවල් පනහකට පමණ කිසිදු එන්නතක් ලබා ගැනීමට නොහැකිව සිටින අවස්ථාවක එන්නත් ලබා ගැනීමට හැකිවීම ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් වන බව ද ඒ මහතා කීවේය.

ලබන මස පළමු සතියේදී තවත් එන්නත් ලක්ෂ විස්සක් මෙරටට හිමිවන බව කී අමාත්‍යවරයා ඉන් කොටසක් මහනුවර දිස්ත්‍රික්කය සඳහා වෙන් වන බව ද සදහන් කළේය.

මහනුවර දිස්ත්‍රිකයේ එන්නත් කරන වැඩපිළිවෙල හෙට ආරම්භ කරන බව කී අමාත්‍යවරයා, දිස්ත්‍රිකයේ වැඩම අවදානම් කලාප දෙකක් වන කුණ්ඩසාලේ සහ මැණික්හින්න සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශ සඳහා එහිදී ප්‍රමුඛස්ථානය ලබා දී ඇතැයි ද කීවේය.

රටේ අවදානම් සහිත ප්‍රදේශ සඳහා මේ අයුරින් ප්‍රමුඛස්ථානය ලබා දෙන බව කී අමාත්‍යවරයා එන්නත් ගෙන්වා ගැනීමේ දී ශ්‍රී ලංකාව උපරිම කැපවීමෙන් යුතුව ක්‍රියාකරන බව ද වැඩිදුරටත් සදහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

 

More Stories