උත්තරය කැපිල්ල නොවේ. ඉස්සිල්ලක් නැති නිසාය. මේ අය මේ ෆේස්බුක්වල තරම් මහජනයා අතර ප්‍රසිද්ධ නැත.
එතකොට කවුරුවත් නොදන්නා අප්‍රකටම චරිත අති විශාල ගණන්වලින් මනාප ලබාගෙන පත්වුණේ ඇයි? ඒ ඔවුන් පත්කරගන්නට පක්ෂ නායකයන්ට උවමනා වී තිබුණු නිසාය. මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී වඩා වැදගත් වුණේ ජවිපෙ විසින් ඔසවා තැබීමය.
එහෙම වුණාය කියා මේ වගේ මහා ඡන්ද රැල්ලකදී එය පාලනය කරගත්තේ කෙසේද? සම්පූර්ණයෙන් පාලනය කරගන්නට බැරිය. එහෙත්, ගන්නට ඕනෑ අය සම්බන්ධයෙන් යම් යම් උපායන් අනුගමනය කරන ලදී. උදාහරණයක් ලෙස ආසන බෙදා දුන්නේ ඒ විදියටය.
සාමාන්‍යයෙන් කණ්ඩායම් නායකයා හා තවත් දෙදෙනෙකු එක ආසනයක මනාප වෙනුවෙන් කැම්පේන් කළහ. මතුගම හා අගලවත්ත යන දැවැන්ත ආසන දෙකම ඒකාබද්ධ කර ඒ දෙක වෙනුවෙන් කැම්පේන් කළේ නලින්ද ජයතිස්ස හා අප්‍රකට ජවිපෙ දෙදෙනෙකි. ඒ ඔවුන් පාර්ලිමේන්තුවට පත්කරගන්නට නලින්ද ජයතිස්සට දැඩිව ඕනෑකම තිබුණු නිසාය. එය නිවැරදිය. බල දේශපාලනය එහෙමය.
පක්ෂයට හා නායකයන්ට යමෙකු පත්කරගන්නට දැඩිව උවමනාව තිබිණි නම්, ඒ හැම කෙනෙකුම පත්කරගෙන තිබේ. කවුරුහරි පත් වී නැතිනම් ඒ පෙර කී උවමනාව නැති නිසාය.
තමන්ට උවමනාව තිබුණා නම්, හරිනි, කොට්ටච්චි වැනි අය කරගත් පරිද්දෙන් තමන්ව උස්සාගත යුතුව තිබිණි. ඒකට ෆේස්බුක් එකට නොව මහජනතාවට දැනෙන අයුරෙන් කැම්පේන් කළ යුතුය.
මෙවැනි රැලිවල නිර්මාපකයන් වන මහින්ද රාජපක්ෂ වැනි අය එක්ක කටයුතු කරද්දී ධනේශ්වර දේශපාලනයේ තිබුණු පෞරුෂවාදය (individualism) නිසා මෙවැනි රැලි අල්ලා වඩා දක්ෂයන්ට ඉදිරියට ඒමේ අවස්ථාව තිබිණි. ප්‍රේමනාත් දොලවත්ත ඒ සඳහා උදාහරණයකි. එහෙත්, ජවිපෙ සමාජවාදී දේශපාලනය තුළ තිබෙන්නේ සමූහවාදයකි (collectivism). එහිදී නායකත්වය හා පක්ෂය සමග පක්ෂපාතීත්වය (loyalty) අතිශය වැදගත්ය.
දිස්ත්‍රික්වලින් පරාජය වූ පසු ජාතික ලැයිස්තුව ගැන බලාපොරොත්තු තියාගත යුතු නැත. ජාතික ලැයිස්තුවේ උඩට දාගත්තේ ඉහළින්ම ගන්නට අවශ්‍ය අයය. මේ රැල්ල තව ටික කාලයක් පවතිනු ඇත. ඒ නිසා ඔවුන්ට ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් අවස්ථා ලබාගත හැකිය. ඇතැම් විට පළාත් සභා ද එනු ඇත.
දේශපාලනය කරන්නට ඕනෑ නම් ඔය එකක්වත් නැතත් පුළුවන.
Praja.lk