Rise & Fall Of Nationalism In North & South

සිවිල් සමාජ සාමූහිකයක් වන මාර්තු 12 ව්‍යාපාරයේ, ජනාධිපති අපේක්ෂකයන් එක වේදිකාවකට ගෙන ඒමේ උත්සාහය එහි දෙවැනි වටයේදී සාර්ථක විය. විවාදයට නියමිතව සිටි ජනාධිපති අපේක්ෂකයන් හයදෙනාම බලාපොරොත්තු වූ පරිදිම සහභාගී වූ අතර එහිදී ඔවුන්ගේ අනාගත දැක්ම සහ අපේක්ෂාවන් බෙදාහදා ගත්හ. ඔවුන්ගේ පණිවිඩය විද්‍යුත් හා ජනමාධ්‍ය හරහා සාමාන්‍ය ජනතාව අතරට ගියේය. ‘ජනාධිපති විවාදයක්’ ලෙස මෙම වැඩසටහන නම් කර තිබුණද, එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වන එහි මූලික ව්‍යුහය සැකසෙන වැඩසටහනේදී ජනාධිපති අපේක්ෂකයන් එකිනෙකා සමඟ වාචික ගැටුමක නිරතවන ස්වරුපයෙන් එය වෙනස් විය. ශ්‍රී ලංකා වැඩසටහනේ ස්වරූපය වූයේ, සෑම ජනාධිපති අපේක්ෂකයකුටම එකම ප්‍රශ්නය ඉදිරිපත් කර නියමිත කාලසීමාවක් තුළ පිළිතුරු සැපයීමයි.

මාර්තු 12 ව්‍යාපාරයේ අභිප්‍රාය වූයේ ජනාධිපති අපේක්ෂකයන්ට වාද විවාදවලට වඩා, මහජනතාවට අවශ්‍ය කරුණු පිළිබඳව තම අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීමයි. ඉදිරිපත් කිරීම් අවසානයේදී, ප්‍රේක්ෂකයන්ට ඔවුන්ගේ ප්‍රශ්න ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ආරාධනා කළ යුතුවූ අතර, එහිදී ඒවා කමිටුවක් විසින් සළකා බලා ප්‍රතිචාර සඳහා අපේක්ෂකයන් වෙත ලබාදෙනු ඇත. කෙසේවෙතත්, ජනාධිපති අපේක්ෂකයන්ට ආරක්ෂිත පරිසරයක් සහතික කිරීම සඳහා මෙම සියලු පහසුකම් සලසා තිබියදීත්, සති අන්තයේ පැවති විවාදයේ පළමු වටයේ දී ආරාධිත අපේක්ෂකයන් හයදෙනාගෙන් විවාදයට පෙනීසිටියේ එක් අයකු පමණි. ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් තිදෙනා ඇතුළු සෙසු පිරිස ඊට එක්වූයේ නැත. ඔවුන් එක්කෝ කල්තියාම ප්‍රතික්ෂේප කිරීම හෝ වැඩසටහන පැවැත්වෙන අවස්ථාවේ නොපැමිණීම ප්‍රේක්ෂකයන්ගේ කෝපයට හේතු විය. ප්‍රේක්ෂකයන්ගෙන් සමහරෙක් යාපනය, අනුරාධපුරය සහ පුත්තලම ප්‍රදේශවලින් පැමිණ සිටියහ.

ජනාධිපති අපේක්ෂකයන් අතර පවතින තුන්කොන් තරගයේ දැඩි ස්වභාවය නිසා, ඔවුන් කිසිවකු අවදානමක් ගෙන තම බලප්‍රදේශයට නොපැමිණෙන ප්‍රේක්ෂක පිරිසකට නිරාවරණය වීමට කැමැත්තක් නොදක්වන ආතති සහගත තත්ත්වයකට මුහුණදී සිටි බව පෙනේ. පොදු කාරණා සම්බන්ධයෙන් විවිධ ආස්ථානයන්, උපායමාර්ග සහ ක්‍රියාමාර්ගවල විවෘත ගැටුම් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමට මෙන්ම, අනාගතයේදී එකාබද්ධව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳ නව අදහස් ජනනය කිරීමට මෙම අවස්ථාව ප්‍රයෝජනවත් වූ නමුත්, මෙලෙස අපේක්ෂකයන් වැඩසටහන මගහැර යෑම සෘණාත්මක සංසිද්ධියක් විය. අවාසනාවකට මෙන්, ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනකු සහ සුපුරුදු පරිදි අපේක්ෂකයන් තිදෙනකු සමඟ ජනාධිපතිවරණ කාලය තුළ ඇති දැඩි ස්වභාවය ද, ආසන්නතම ප්‍රතිවාදී අපේක්ෂකයකු හෝ දෙදෙනාම විවේචනය කිරීම කෙරෙහි අවධානය යොමුකරන සැළකිව යුතු සෘණාත්මක ප්‍රචාරණයන්ට හේතු වී තිබේ. සාමාන්‍ය පරිදි දෙදෙනෙක් නොව, මෙවර තරගයේ ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනෙකු සිටින බැවින්, අවාසනාවකට මෙන් ජනාධිපතිවරණයේ දැඩි ස්වභාවය වර්ධනය වී, සිය ප්‍රතිවාදී එක් අපේක්ෂකයකු පමණක් නොව දෙදෙනාම විවේචනය කරන තත්වයක් නිර්මාණය වී තිබේ.

තරගය වඩා දැඩි කිරීම

ගෙවීගිය සති කිහිපයේදී මහජන මත විමසුම් පෙන්නුම් කර ඇත්තේ, ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදීන් දෙදෙනා වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමඟ සසඳන විට, වැඩිම ප්‍රසාදයක් (සාපේක්ෂව) ලබාගෙන ගෙන ඇති අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවය. කෙසේවෙතත්, මෙම සමීක්ෂණවලින්ම පෙන්නුම් කරන්නේ, ජනාධිපතිවරයා තවමත් තම ප්‍රතිවාදීන්ට වඩා පසුපසින් සිටින බවය. ජනාධිපති අපේක්ෂකයන් තම ප්‍රතිවාදීන්ගේ ස්වභාවයන් විවේචනය කරමින් සෘණාත්මක ප්‍රචාරක කටයුතුවල නියැලීම වැනි ක්‍රියාමාර්ග මෙයින් පැහැදිලි කළ හැකිය. ඒ අතරම, ඔවුහු රටේ වඩාත්ම දැවෙන ගැටලු විසඳීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ධණාත්මක ප්‍රචාරක කටයුතුවල ද නිරත වී සිටිති. ලෝකය සමඟ රටේ ආර්ථික සබඳතා සඳහා දොරටු විවර කර ඇති අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ගිවිසුමේ මූලික රාමුවට අවනත වීමේ අවශ්‍යතාව පිළිබඳව ඔවුන් අතර අභිසාරීතාවක් ඇති වී තිබේ.

රටේ ජනවාර්ගික ගැටුම සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් තිදෙනාගේ පාර්ශ්වවලින්ද අභිසාරීතාවක් පවතී. ඔවුන් සියලුදෙනාම සමානාත්මතාව සහ යුක්තිය යන මූලධර්ම මත, ජනතාව එක්සත් වන ආකාරයෙන් මෙම ප්‍රශ්නය සමඟ කටයුතු කිරීමට පොරොන්දු වී ඇත. ඔවුහු සියලුදෙනාම වාර්ගික හා ආගමික සුළුතරයන්ගේ ඡන්ද දිනාගැනීමට දැඩි උත්සාහයක යෙදී සිටිති. ජනවාර්ගික ගැටුම, නිදහසේ ආරම්භයේ සිටම බෙදුම්වාදී දේශපාලනයේ කොටසක් වූ බැවින් මෙය ඉතා ධණාත්මක තත්වයකි. කෙසේවෙතත්, තරඟයේ දැඩි ස්වභාවය හේතුවෙන්, එකිනෙකාට එරෙහිව සෘණාත්මක ප්‍රචාරණයක් ද සිදුකෙරේ. මෑතකදී යාපනයේ කළ සංචාරයකදී ජාතික ජන බලවේගයේ නායකයා දෙමළ ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටියේ, තම ජයග්‍රහණය අඩාල නොකරන ලෙස සහ රටේ දකුණේ තමන්ට ඡන්දය දෙන ඡන්දදායකයන් සමඟ ජයග්‍රාහී පාර්ශ්වයේ සිටගන්නා ලෙසයි. මෙය දෙමළ ජනතාවට ව්‍යංගයෙන් එල්ල වන තර්ජනයක් ලෙස හුවා දක්වා ඇති අතර, එමඟින් ඔහුට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ජයග්‍රහණයේ කොටස්කරුවකු වීමට පවතින අවස්ථාව අහිමි කර නොගන්නා ලෙස ඉල්ලා සිටි බව ප්‍රකාශ වේ.

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් අනුර දිසානායකගේ මේ ප්‍රවේශය සම්බන්ධයෙන් ධණාත්මක වී ඇත. යාපනයේදී ජාතික ජන බලවේගයේ නායකයාගේ කතාවට ලබාදී ඇති නිෂේධාත්මක අර්ථකථනයට ඔහු එකඟ නොවන අතර, ජාතිවාදී හැඟීම් ප්‍රකාශ කිරීමේ අරමුණින් ජාතික ජන බලවේගයේ නායකයා එම ප්‍රකාශය කළ බව තමා කිසිවිටක නොසිතූ බවත්, රටේ ජාතිවාදය තුරන්කිරීමට ඔහු විශාල සැළකිල්ලක් දක්වා ඇති බවත් සුමන්තිරන් පැවැසීය. ITAK ප්‍රකාශකයා පැවැසුවේ. රට තුළ දූෂණය සහ වැරදි පාලනය තුරන්කිරීම සඳහා ජාතික ජන බලවේගය සමඟ එක්ව කටයුතු කරන බවයි. ඇත්ත වශයෙන්ම, මෙය වසර දෙකකට පෙර ආණ්ඩු පෙරළියට තුඩු දුන් නමුත් තවමත් විසඳා නොමැති අරගලය විරෝධතා ව්‍යාපාරයේ වැදගත්ම අංශ දෙකයි. කෙසේවෙතත් සුමන්තිරන්ගේ මෙම ප්‍රශංසනීය ප්‍රකාශය හේතුවෙන්, දැන් ඔහු පැති මාරුකර ඇති බවට වැරදි අර්ථකථනයකට ලක්ව ඇත.

ප්‍රතිසන්ධාන මාදිලිය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති අපේක්ෂකත්වය අනුමත කිරීමට ITAK විසින් මෑතකදී ගත් තීරණයේ ප්‍රධාන භූමිකාව ද සුමන්තිරන් විසින් සිදුකරන ලදී. ජනාධිපති අපේක්ෂකයන් අතර තේරීමක් කිරීමටත්, ප්‍රතිපත්ති ප්‍රකාශය සහ අතීත කැපවීම් මත දෙමළ ජනතාවට හොඳම යැයි විශ්වාස කරන අපේක්ෂකයා තෝරාගැනීමටත් ඔහු ITAK පක්ෂයට නායකත්වය ලබාදුන්නේය. ඒ අතරම, අනෙකුත් දේශපාලන පක්ෂවලට සහ ඒවායේ නායකයන්ට, තම පක්ෂය අනුමත නොකළ අයට පවා සතුරු නොවන බවත්, දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන් ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට විවෘත බවත් ඔහු පෙන්වා දී ඇත. රටට අවශ්‍ය නායකත්වය වන්නේ, අමනාපකම් ඇතිකර ගැනීම නොව, අන් අය තුළ ඇති හොඳම දේ සොයාබලා ඔවුන් ඉහළම මට්ටමින් තබා ගැනීමයි.

වසර දෙකහමාරකට පෙර සිදු වූ ආර්ථික කඩාවැටීමෙන් පසු ශ්‍රී ලාංකීය ජනතාව තවදුරටත් පීඩා විඳිමින් සිටිති. වඩ වඩාත් ගැටුම්කාරී ලෝකයක, දේශීය හා අන්තර්ජාතික අභියෝගවලට මුහුණදීම සඳහා ජාතික සමගිය කාලීන අවශ්‍යතාව යි. මෙයින් ඇඟවෙන්නේ ධ්‍රැවීකරණයෙන් සහ වැරදි අර්ථකථනය කිරීමෙන් ශ්‍රී ලාංකේය දේශපාලනය දෙකඩ කිරීම දරාගත නොහැකි බවයි. එමනිසා මෙම විෂම චක්‍රය ආමන්ත්‍රණය කළ යුතුය. අභියෝගවලට මුහුණදීමට රටත් ජනතාවත් එකමුතු විය යුතුය. කෙසේවෙතත්, ජනතාවගේ ඡන්දය තුන් ආකාරයකට බෙදී යන තත්ත්වයක් තුළ ධ්‍රැවීකරණය වීමේ ඉඩකඩ වැඩියෙන් පවතින බව දැකගත හැකිය.

ජනාධිපතිවරණ විවාද සංවිධානය කිරීමේදී, මාර්තු 12 ව්‍යාපාරයේ අපේක්ෂාව වී ඇත්තේ, ආණ්ඩු වෙනස්වීම් නොතකා රජයේ ප්‍රතිපත්ති ස්ථාවර වන පරිදි මූළික කරුණු සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයන්ට තම එකඟතාවයේ ක්ෂේත්‍ර සඳහන් කළ හැකි වේදිකාවක් සැපැයීමයි. ජනාධිපති වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළේ ජනමාධ්‍ය හමුවකදීය. අපගේ රටට අවශ්‍ය සහ සියලුදෙනාගේ ආශාව මෙයයි. සෑම ජනාධිපති අපේක්ෂකයකුටම ඇති අභියෝගය වන්නේ, ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ තමන් නොවුණත් ජයග්‍රාහකයාට සහාය දැක්වීමට කැපවීමයි. මැතිවරණ ව්‍යාපාරයේදී ඔවුන් හැසිරෙන ආකාරය සහ ජනතාවට සහ විරුද්ධවාදීන්ට ආමන්ත්‍රණය කරන ආකාරය අනාගතයේ සංහිඳියාවේ අපේක්ෂාවන් තීරණය කරනු ඇත.

ජෙහාන් පෙරේරා

Similar Posts