කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහාර යෙදීමේ ප්‍රතිපත්තිමය තීරණයට දායකවීම සඳහා  මහනුවර නාගරික බල ප්‍රදේශයේ එක්රැස්වන කැළිකසල මගින් පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් මහනුවර මහ නගර සභාව මගින් ආරම්භ කොට තිබේ.

මහනුවර නාගරික බල ප්‍රදේශයෙන් මසකට මෙට්‍රික් ටොන් සියයක පමණ කැළිකසල ප්‍රමාණයක් එකතුවන අතර ඒ සියල්ල බැහැර කරනුයේ කටුගස්තොට, ගොහාගොඩ, තේක්කවත්ත කැළිකසල අංගණයටය.

එහි දී මේ වන විට කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක් සුළු ප්‍රමාණයෙන් පවත්වාගෙන යන අතර ඉන් මසකට මෙට්‍රික් ටොන් 40ක කාබනික පොහොර නිපදවීමේ ශක්‍යතාවයක් පවති.

රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය සඳහා සක්‍රීය දායකත්වයක් ලබාදීමේ අරමුණින් එම ස්ථානයේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමේ හැකියාව නිරීක්ෂණය කිරීමේ ක්ෂේත්‍ර චාරිකාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවිය.

මහනුවර නගරය සහ නාගරික නගර සීමාවෙන් එක්වන කැළකසළ වසර 40ක පමණ කාලයක සිට මෙම ස්ථානයේ තැම්පත් කරන අතර එම කසළ යොදාගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීම පිළිබඳව මෙහිදී අවදානය යොමු කෙරිණි.

ඒ අනුව දැනට සාමාන්‍ය පරිදි සිදුවන නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධන උපකරණ සම්පාදන කිරීමට දායක වන බව ආණ්ඩුාකර ලලිත් යූ ගමගේ මහතා මෙහිදී සදහන් කළහ.

මෙම කැළිකසල වලින් නිෂ්පාදිත කාබනික පොහොරවල  ප්‍රමිතිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් මාකදුරේ පිහිටි තිරසාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන පුහුණු ආයතනය තුළදී පරික්ෂා කරන බව කී ඒ මහතා මධ්‍යම පළාතේ කෘෂිකාර්මික වගාවන් සඳහා මෙම පොහොර යෙදීම අපේක්ෂා කරන බව කීවේය.

මෙම ක්ෂේත්‍ර නිරීක්ෂණය සඳහා මහනුවර පුරපති කේසර සේනානායක, විපක්ෂ නායක සේන දිසානායක, පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න යන මහත්වරු ඇතුලු පරිසක් සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

More Stories