කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ‍රැදවියන් හා නිලධාරින් 605ක් පී සී.ආර්.පරික්ෂණ සදහා යොමු කිරීමෙන් පසු එහි 57 දෙනෙකුගේ පී.සී.ආර්.පරික්ෂණ ප්‍රතිපල අනුව නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වී ඇති බව පොලොන්නරුව වැඩ බලන  ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (09) සවස අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ වැඩබලන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසුවේ ඉකුත් දා වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවූ මත් ද්‍රව්‍ය වැරදි සදහා අධිකරණ නියෝග මත කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇතුළුව පුනරුත්ථාපනය වූ ‍රැදවියා කොරෝනා ආසාධිතයෙකු බවට සැලවීමත් සමග එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සියලු දෙනා නිරෝධායනයට යොමු කර පී සී ආර් පරික්ෂණ වලට යොමු කළ බවයි.

එම පරික්ෂණ ප්‍රතිපල අනුව නව කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් 57ක් හදුනා ගත් බවත් ඔවුන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ම රදවා තබා වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ආරම්භ කළ බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

“අපි මෙම මධ්‍යස්ථානයම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කරලා සියලු දෙනා ස්වයං නිරෝධායනයට ලක් කරනවා.එපමණක් නොවෙයි අපි මේ සියලු දෙනාගේ රෝගී තත්ත්වයන් නිරන්තරයෙන් අධීක්ෂණය කරනවා.අසාධ්‍ය මට්ටමේ රෝගීන් වාර්තා වුනොත් ඔවුන් වැලිකන්ද හා අංගොඩ අය් ඩී එච් රෝහලටත් මාරු කරන්න කටයුතු කරනවා.

මොවුන් දැනට එහෙම අසාධ්‍ය තත්ත්වයේ නෑ.අපි ඒ සියලු දෙනාට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා දෙනවා.මෙම කදවුරේ ‍රැදවියන් හා නිලධාරින් සියලු දෙනා අපි පී සී ආර්.පරික්ෂණ සදහා යොමු කළා.දැන් ඒ සියලු දෙනාම ස්වයං නිරෝධායනයට යොමු කරලා තියෙනවා එම ස්ථානයේ ම.57 දෙනෙකු එක වරම මතුවීම තරමක් සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය කරන්නක්.ඒ නිසා අපි කාර්යක්ෂමව මේ කටයුතු සොයා බලා කටයුතු කරනවා.අද(09) තමයි අපට පී.සී.ආර් පරික්ෂණ ප්‍රතිපල වාර්තා වුණේ.”

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

More Stories