වර්ජනයක නිරත වූ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණයට එරෙහිව අද (30) පස්වරුවේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

ඔවුන් සඳහන් කළේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ගෙන ඇති එම තීරණය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවයි.

ඉන්ධන බෙදා හැරීමට බාධා කළ බවට චෝදනා කරමින් වෘත්තීය සමිති නායකයින් 20 කට වැඩි පිරිසක් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ ප්‍රකාශ කරයි.

ඔවුන්ට එරෙහිව ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පරීක්ෂණ සිදුකරන බවයි අමාත්‍යාංශ පරිශ්‍රයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා කියා සිටියි.

කෙසේ වෙතත්, මෙම තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කරයි.

More Stories