පැහැර ගැනීමට ලක්වු බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිළධාරීනිය  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැය 5 ක  ප්‍රකාශයක් ලබාදී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් නැමැති මෙම නිලධාරීනිය  තානාපති කාර්යාල නිලධාරීන් සහ ඇයගේ නීතිඥවරුන් දෙදෙනෙකු සමඟ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. මෙහිදි ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයව කොළඹ  අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකර ඇත.

පසුගිය නොවැම්බර් මස 25 මෙම නිලධාරිනිය ය රාජකාරී කටයුතු අවසන් කර යළි නිවස බලා ගමන් කිරීමේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඇයව පැහැරගෙන ගොස් තර්ජනය කර තානාපති කාර්යාලයේ තොරතුරු විමසා මුදාහැර තිබු බව ස්විස් තානාපති කාර්යාලය විසින් මෙරටට පැමිණිලි කර තිබුණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ අතර සිද්ධිය පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමටද  ඔවුන් පියවර ගත්තේය. නමුත් ඒ් වනවිටත් මෙම නිලධාරිනිය ප්‍රකාශයක් ලබා නොදී තිබු හෙයින් විමර්ශන ඉිදිරියට පවත්වාගෙන යාම ගැටලුවක් වී තිබුණි.

එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (09)  දිනට ප්‍රථම ඇයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ස්විස් තානාපති කාර්යාලයට දැනුම් දුන් අතර අද දින තෙක් ඇගේ විදේශ ගමන්ද අත්හිටුවනු ලැබීය.

Similar Posts